දෙමළ ජනතාවගේ සමානාත්මතාවය, ගරුත්වය හා සාධාරණත්වය සුරකිය යුතුයි

ශ්‍රී ලංකාව තුළ වෙසෙන දෙමළ ජනතාවගේ සමානාත්මතාව, ගරුත්වය හා සාධාරණත්වය සුරකින ලෙස ඉන්දීය නව අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා ඉල්ලීමක් කර තිබේ.

නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් සිටින දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් හමුවූ අවස්ථාවේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙය ප්‍රකාශ කර ඇති බව සඳහන් වෙයි.


ශ්‍රී ලංකාව තුළ වෙසෙන දෙමළ ජනතාවගේ අභිලාෂයන් ළඟා කරගැනීමට හැකි දේශපාලනික විසඳුමක් කරා එළඹීමට මෙරට රජය අවධානය යොමු කළ යුතු බව එහිදී නරේන්ද්‍ර මෝඩි මහතා ප්‍රකාශ කර තිබේ.


ඒ සඳහා මෙරට සියලු පාර්ශව අන්‍යෝන්‍ය සහයෝගයෙන් යුතුව කටයුතු කළයුතු බවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.


එමෙන්ම මෙය 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ඇති කළ හැකි බව ඒ මහතා පෙන්වාදී ඇත.


උතුරු නැගෙනහිර සිදුවන නැවත පදිංචි කිරීමේ සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය කෙරෙහි ඉන්දියාව ලබාදෙන සහයෝගය නොමදව ලබාදීමට අපේක්ෂා කරන බව ද නරේන්ද්‍ර මෝඩි මහතා දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් හමුවේ ප්‍රකාශ කර තිබේ.


එමෙන්ම මෙහිදී දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් විසින් ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳව සහ බලය බෙදාහැරීමේ ක්‍රියාවලිය තුලින් ඔවුන් අපේක්ෂා කරන ප්‍රතිඵල සම්බන්ධයෙන්ද කරුණු පෙන්වා දී ඇති බව සඳහන් වෙයි.


දෙමළ ජාතික සන්ධානයේ ආර්. සම්බන්ධන් , මාවේසේනාධිරාජා, කේ.ප්‍රේමචන්ද්‍රන්, පී.සෙල්වම් අදයික්කලනාදන් සහ එම්.ඒ සුමන්තිරන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පසුගිය සිකුරාදා ඉන්දියාවේ නිල සංචායක් සඳහා පිටත්ව යන ලදී.



Post a Comment