තංගල්ලේදී දරුවන් දෙදෙනෙක් මුහුදට බිලී

තංගල්ල, කපුහේනවල මුහුදු තීරයේ දියනාමින් සිටි දරුවන් දෙදෙනෙකු දියේ ගිළී මියගොස් තිබේ.

ඊයේ(22) පස්වරු 4.30ට පමණ සිය පියා සහ දරුවන් තිදෙනෙකු මුහුදේ දියනාමින් සිටියදී ඔවුන් දිය වැලකට හසුව ගසාගෙන ගොස් ඇති බව පොලීසිය පැවසුවේය.


එහිදි 13 හැවිරිදි දරුවෙකු පියා විසින් බේරාගෙන තිබේ.


මියගොස් ඇත්තේ තංගල්ල, නෙටොල්පිටිය රැකව පාර ප්‍රදේශයේ පදිංචිව සිටි විදානගේ ධනුෂ්ක විකුම් නමැති නව හැවිරිදි දරුවෙකි.


15 හැවිරිදි විදානගේ ඔක්ෂාන් චන්දන නමැති දරුවාගේ සිරුර සෙවීමේ කටයුතු පොලිස් ජීවිතාරක්ෂක හා නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් සිදුකරන බව තංගල්ල පොලීසිය සඳහන් කළේය.


මේ අතර ත්‍රීකුණාමලය සංඝමිත්තාන් මුහුදු තීරයේ දියනාමින් සිටියදී දියවැලකට හසුව ගැඹුරු මුහුදට ගසාගෙන යමින් සිටි තරුණයින් තිදෙනෙකු ත්‍රීකුණාමලය පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් බේරාගෙන තිබේ.


අනතුරට මුහුණ පා ඇත්තේ දෙහිවල කළුබෝවිල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් සඳහා ත්‍රීකුණාමලය ප්‍රදේශයට ගිය උපකාරක පංතියක ගුරුවරුන් සහ සිසුන් පිරිසක් අතර සිටි තිදෙනෙකු බව පොලීසිය පැවසුවේය.



Post a Comment