කොළඹ ආනන්දය ඊයේ එකම මළ ගෙයක් - ගුරු-සිසු රැසකගෙන් කට උත්තර ගනී

* යාළුවන් සමඟ එක් වී සෙල්ලම් කරමින් සිටියා
* ගල් රෝලත්-බිත්තියත් අතර සිසුවා සිර වෙලා


කොළඹ ආනන්ද විද්‍යාලයේ හතරවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ නව හැවිරිදි සිසුවෙක් ඊයේ (21) පෙරවරුවේ විද්‍යාල භූමියේ තිබූ ක්‍රීඩා පිට්ටනිය තලන ගල් ‍රෝලකට යටවී මරුමුවට පත්විය. මෙලෙස අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත්තේ මාලඹේ පොතුරාව ප්‍රදේශයේ පදිංචිව සිටි ආනන්ද විද්‍යාලයේ 4 - B පන්තියේ ඉගෙනුම ලැබූ චේතික සිනෙත් විජේසිංහ නමැති සිසුවාය.

එම සිසුවා ඇතුළු සිසුන් කිහිප දෙනකු ක්‍රීඩා පිට්ටනියේ සෙල්ලම් කරමින් සිටිය දී පිටියේ නතර කර තිබූ ගල් ‍රෝල තල්ලු කිරීමට යෑමෙන් එම ගල් රෝලට සිසුවා යට වී තිබේ.ඊයේ පෙ.ව. 7.25ට පමණ මේ සිද්ධිය සිදුවී තිබේ. මේ දිනවල පාසල්වල ක්‍රීඩා උත්සව සඳහා පෙරවරු කාලයේ පුහුණුවීම් සිදු කෙරේ. ආනන්ද විද්‍යාලයේද ඊයේ පාසල් සිසුන් ක්‍රීඩා පුහුණුවීම්වල යෙදී ඇත.

ඒ අවස්ථාවේ 4 වසරේ සිසුන් පිරිසක් ක්‍රීඩා පිට්ටනිය කොනක තිබූ තණකොළ තැලීමට ගන්නා අත්ගල් රෝල රැගෙන එහාමෙහා කරකවා තිබේ.පසුව සිසුන් ගල්රෝල අත්හැරිය විට කැරකැවෙමින් තිබූ එය වේගයෙන් ගොඩනැඟිල්ලක බිත්තිය දෙසට විසිවී ගොස් ඇත්තේ සිනෙත් විජේසිංහ සිසුවාද යට කරගෙනයි.ගල් රෝලටත් බිත්තියටත් හිරවූ සිසුවා ඉන් ඉවතට ගන්නා විට සිහිසුන්ව සිට ඇත. ඔහු රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළු කිරීමෙන් පසු මිය ගොස් තිබේ. වහා එම ස්ථානයට ගිය මරදාන පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කොට ඇත.

චේතික සිනෙත්ගේ සිරුර රෝහලේ තැන්පත් කර තිබූ අයුරු



එහිදී ගුරුවරුන් පාසල් සිසුන් ඇතුළු විශාල පිරිසකගෙන් කටඋත්තර ද ලබා ගෙන ඇත.

අනතුරට පත්වූ සිසුවා පෙරවරු 7.50ට පමණ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති අතර සිසුවාගේ හෘදය ක්‍රියාකරවීමට උත්සාහ කළද ඉන් ඵලක් නොවූ බව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා දිනමිණට ප්‍රකාශ කළේය.

සිද්ධියවූ විගසම කොළඹ ආනන්ද විදුහලට හා රිජ්වේ ආර්යා ළමා රෝහලට අධ්‍යාපන ඇමැති බන්ධුල ගුණවර්ධන මහතා ගොස් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂාකර තිබේ. මිය ගිය සිසුවාගේ බාහිරින් කිසිදු තුවාලයක් නොපෙන්වන බැවින් වැඩිදුර පරීක්ෂණ සඳහා හදිසි මරණ පරීක්ෂකවරයා වෙත යොමු කළ බව රෝහල් අධ්‍යක්ෂවරයා කීය.

මරදාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සූරියබණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ සිදු කෙරේ.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment