ලිංගික අල්ලස් නොදී කාන්තාවන්ට අද කිසිම දෙයක් කරගන්න බෑ - ගීතා

අද කාන්තාවට යමක් කරගන්න ලිංගික අල්ලස් දෙන්න වෙලා. මේ නිසා කාන්තාව අසරණ වෙලා. හිංසාවට, පීඩාවට ලක්වෙලා. අද ප්‍රාදේශීය දේශපාලනඥයන්ගෙන් හිරිහැර වූ කාන්තාවන් කීදෙනෙක් ඉන්නවාද යැයි බෙන්තර - ඇල්පිටිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායිකා ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කළාය. හබරාදුව වවුලුගල ප්‍රදේශයේ ඉකුත් 6 වැනි දින පෙර පාසලක් ආරම්භ කිරීම නිමිත්තෙන් පැවැති රැස්වීමකට එක්වෙමින් කුමාරසිංහ මහත්මිය මේ බව ප්‍රකාශ කළාය.

තවදුරටත් අදහස් දක්වමින් ඇය මෙසේද කීවාය. දේශපාලනය ගැන සඳහන් කරනවිට බුදුන් වහන්සේ තමයි දේශපාලනය ගැන කියාදුන් හොඳම දේශකයා. උන්වහන්සේ කියා දුන්නා හොඳ මොකක්ද, නරක මොකක්ද කියලා. අප රටේ දේශපාලනඥයන් සියලු දෙනාම දිනකට හත් අට වතාවක් පන්සිල් ගන්නවා. නමුත් හොඳ මොකක්ද නරක මොකක්ද කියා වටහාගත් දේශපාලනඥයන් ඉන්නේ අතළොස්සයි. 

අද බලන්න ප්‍රාදේශීය දේශපාලනඥයන්ගෙන් කාන්තාවන්ට කෙතරම් හිරිහැර වෙනවද? හුඟක් කාන්තාවන් ඉස්සරහට එන්නේ නැහැ. ප්‍රාදේශීය මැර දේශපාලනයට එරෙහි වන්න නැඟීසිටින්න. ඔබට ප්‍රශ්නයක් වුණොත් නිහඬව ඉන්න එපා. ඉදිරියට ඇවිත් මේ ගැන ලෝකයට කියන්න. එහෙම වුණේ නැත්නම් මේ තත්ත්වය තව තවත් දරුණු වෙන්න පුළුවන්.


ඒ විතරක් නෙවෙයි අද ළමයින් විශාල වශයෙන් අපචාරවලට ගොදුරු වෙනවා. කාන්තාවන්ටද උදාවී ඇත්තේ මේ තත්ත්වයයි. මේ අසාධාරණය ඉදිරියේ කාන්තාව මුනිවත රකිනවා.
මවුවරුන් කාන්තාවන් එක්තරා විදියකට පීඩනයට, හිංසනයට ලක්කරන සමාජයක් තියෙන්නේ. යුද්ධය අවසන් වුවත් මේ රටේ කාන්තාවන්ට නිදහසක් නැතැයිද ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කළාය.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment