කැස්බෑ හොරෙක් කියන ගාණට දාලා මට කළ හානිය සුළුපටු නැහැ - Amal Perera

 ශ්‍රාවක සිත් පසුගිය මාසයක පමණ කාලය පුරා කුතුහලයෙන් පිරී පැවතියේ සිය ආදරණීය ගායන ශිල්පියා සුදු කැස්බෑවකු සොරකම් කළේ යයි පැතිරී ගිය පුවත නිසාවෙන් ය. ඔහු තමා නිර්දෝෂි බැව් කොතෙක් කිව්වත් ඇතැමකු එය විශ්වාස නොකළ අතර "සුදු කැස්බෑවා" ගැන විමසමින් ඔහුට මානසික පීඩා ඇති කිරීමට තරම් සමහරු අකාරුණික වූහ. එහෙයින්ම පසුගිය කාලය පුරා ප්‍රසංග වේදිකාවේ ද ඔහු දක්නට නොමැති වූ තරම් ය. එහෙත් ඒ සියලුම කාරණා හමුවේ කන්දක් සේම නොසැලී සිටි ඔහු  අප සමඟ එක්වූවේ රිඳුණු සිත නිවා සනසා ගැනීමට වෙර දරමින් ය.

ඔහු, ගායන ශිල්පී අමල් පෙරේරා.

"කැස්බෑ හොරෙක් කියන ගාණට දාලා මට කළ හානිය සුළුපටු නැහැ. පසුගිය මාසයක පමණ කාලය පුරාම මාව ඔය හොරකමට සැක කරලා චෝදනා කළාට දැන් සැබෑව හෙළිදරව් වෙලා තියෙනවානේ. ඒත් සැකකරුවෙකු චෙච්ච මට වැරදිකරුවෙකුට වඩා දඬුවම් විඳින්න වෙලා - 'හොරෙක්' කියන අවමානය සහ විඳවන්න සිදුවෙච්ච පීඩා වින්දා. මම තදබල මානසික පීඩාවකට පත්වුණා විතරක් නෙමේ මේ ගැන දිගින් දිගටම කතා කරලා මගේ උගුරත් බැරැන්ඩි වුණා.

 මගේ ජීවන වෘත්තිය ප්‍රසංගවල ගීත ගායනය මිස කැස්බෑවුන් හොරකම් කිරීම නොවේ. මේ සිද්ධිය නිසා මට ප්‍රසංග මඟ හැරුණා. රට පුරා ප්‍රසංග වැඩි ගණනක් පැවැත්වෙන මෙවැනි කාලයකදී මෙසේ වීම නිසා මට ආර්ථික අතින් සිදු වූ පාඩුවත් විශාලයි. මම හිතනවා - කලාකරුවෙකුට හෝ කලාකාරිනියකට හෝ මෙවැනි දේකට මුහුණ දෙන්න වුණාම මාධ්‍ය මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතුයි කියා."


ඔබ හිතන්නේ මාධ්‍ය මඟින් ඔබට ආසාධාරණයක් සිදු වූ බව ද?

"ඇතැම් මාධ්‍ය මඟින් බොහෝ දුරට එහෙම වුණා තමයි. මම එක රැයකින් මේ රටේ ජනතාව අතරට ආ කලාකරුවෙකු නෙමේ. මගේ තාත්තා (සංගීතඥ, ගායන ශිල්පි මර්වින් පෙරේරා) ජනප්‍රිය ගායකයෙකු වුණත් මට මේ අද ඉන්න තැනට එන්න අවුරුදු 19 ක් ගියා. එහෙම ඇවිල්ලා හදා ගත්ත නම නොකළ වරදකට සැක කළ පමණින් එක රැයින් කැළැල් කරන්න වගකීමෙන් තොරව මේ සිද්ධිය පිළිබඳ පුවත් ඉදිරිපත් කරන්න ඇතැම් මාධ්‍ය කටයුතු කළා. ඒ ගැන හිතෙද්දී පපුව පැළිලා වගේ දැනෙනවා.

මාධ්‍යයට සහ මාධ්‍යකරුවාට උණුසුම් පුවත් ඕනෑ බව මං පිළිගන්නවා. ඒත් කලාකරුවෙකුට මෙවැනි චෝදනාවක් ආවම මීට වඩා හරි වැරැද්ද සොයා බලා දෙවරක් වත් සිතා මෙවැනි පුවත් පිළිබඳ වාර්තා කරනවා නම් තමයි හොඳ. මොකද අද මගේ නිර්දෝෂි බව ඔප්පු වෙලා තිබුණත් සීයට සීයක්ම අර 'හොරා' නමින් මාව මුදවන්න මාධ්‍යයට දැන් බැහැනේ. ඇත්තෙන්ම මං මාධ්‍ය මිතුරන් ගෙන් අහන්න කැමැතියි, එදා 'ජනප්‍රිය ගායකයා කැස්බෑ හොරෙකු' බව ප්‍රසිද්ධ කළ ඔබලාට දැන් පුළුවන් ද 'ඒ ජනප්‍රිය ගායකයා කැස්බෑ හොරෙකු නොවේ' කියන දේට අර වගේම ප්‍රසිද්ධියක් ලබා දෙන්න."

ඔබේ කලා කටයුතු සඳහා මාධ්‍ය සහය ලැබී තිබෙනවා නේද...?

ඔව්. මම ගායකයෙක් නිසා ප්‍රසංගයක් හෝ නව නිර්මාණයක් කෙරුවොත් ඒක පුවතක්. මාධ්‍ය එවැනි අවස්ථාවලදී මට සහාය දී තියෙනවා. ඒත් කලාකරුවෙකු යම් වැරැද්දකට සැක පිට සිටිද්දී ඔහුට හෝ ඇයට අපහාස වන අයුරින් ඒ පුවත මාධ්‍ය මඟින් ඉදිරිපත් කිරීම හිංසාකාරී ක්‍රියාවක් බවයි මගේ හැඟීම. ඒ නිසා මින් ඉදිරියේ දී හෝ මෙවැනි අවස්ථාවන්හී දී අපේ මාධ්‍යවේදී සහෘදයින් මීට වඩා කාරුණික වෙනවා නම් හොඳයි නේද...?

මේ සිද්ධියේ දී ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කළ ආකාරය ගැන ඔබ පවසන්නේ කුමක් ද?

මේ සිද්ධියේ සැබෑව මේ තරම් ඉක්මනින් එළිදරව් කරගන්න පුළුවන් වුණේ පරීක්ෂණ කටයුතු හරියාකාරව කළ ශ්‍රී ලංකා පොලීසිය හින්දයි. ඒ ගැන මම පොලීසියට ස්තූතිවන්ත වෙනවා. නැත්නම් තවමත් මම කැස්බෑ හොරා. සාමාන්‍යයෙන් සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා යන දවස් තුනේම මම කාර්යබහුලයි. ඒ දවස් තුනේම මට ප්‍රසංග තියෙනවා. ඒත් පසුගිය දවස් ටිකේම මම ගියේ පොලිසිවලටයි. අම්බලන්ගොඩ පොලීසියට යනවා, කොස්ගොඩ පොලීසියට එනවා. එහෙම තමයි වුණේ.

ඔබ නිර්දෝෂ බව සනාථ වීම සතුටක් නොවේ ද?

සතුටුයි. ඒත් ඉතින් පසුගිය දිනවල මෙන්ම තාමත් සමහරුන් කියන කතා ඇහැව්වාම පුදුම හිතෙනවා. ඒ පීඩාකාරී දවස්වල කෝල්ස් අරගෙන 'කෝ කැස්බෑවා', 'අපිට දෙන්නෙ නැද්ද', 'කොහෙද හැංගුවේ', 'ඇත්තටම ඌව ඉස්සුවා නේද' වගේ අරකද මේකද මගෙන් අසමින් මා ගැන වැරදියට හිතපු අය ගැන කනගාටුයි. මොකද මේ ක්ෂේත්‍රයේ මාත් එක්ක සින්දු කියලා, කාලා බීලා, ආශ්‍රය කරලා හිටපු කට්ටිය බොහෝමයි. ඒත් 'අමල්, උඹට මේ අසාධාරණයක් නේද වෙන්නේ' කියලා අහන්න තරමට වත් හිතක් පහළ වුණේ තුන් දෙනෙකුට විතරයි.

ඔවුන් තිදෙනාව නම් වශයෙන් කියන්න කැමැති ද?

කැමැතියි. හිත හොඳ මිනිසුන්ව එහෙම අගය කරන්න ඕනේ.

ඒ තිදෙනා කවුරුන් ද?

කසුන් කල්හාර, සංගීත් විජේසූරිය සහ ෂේන් සිං. ඔය තුන්දෙනාම ඇරෙන්න වෙන කිසිම කෙනෙක් කතා කරලවත් ඇහැව්වෙ නැහැ මේ අසාධාරණය ගැන.

ඔබ ශ්‍රී ලාංකේය ගායක ගායිකාවන්ගේ සංගමයේ සාමාජිකයෙක් නේද?

ඔව්. මමත් ඉන්නවා ගායක ගායිකා සංගමයේ.

ඉතින් එම සංගමයේ සහාය ලැබෙන්න ඇතිනේ?

කියන්නත් දුකයි ඒ ගැන. මං ඒක ප්‍රශ්නයක් කරගන්නේ නම් නැහැ. ඒත් මම නම් කාට හෝ මෙවැනි දුකක් කරදරයක් වෙච්ච වෙලාවට කතා කරලා පුළුවන් උදව්වක් කරනවා. ඒකයි මං මේ ප්‍රශ්නෙදි මාත්තෙක්ක ළඟට වෙලා 'අමල් උඹ ගණන් ගන්නෙපා ඕවා. ඕක ප්‍රශ්නයක් වෙන් නෑ. මෙහෙමයි, අපි දන්නවනේ වරදක් කරලා නැහැ කියලා' කිය කියා මගේ ඔළුව හද හදා හිටිය කසුන්, සංගීත් සහ ෂේන්ව නම් වශයෙන්ම කිව්වේ.

මේ ප්‍රශ්නය මෙසේ විස‍ඳෙන්න පෙර ක්ෂේත්‍රයේ සමහරු ඔබ පිළිබඳ කොහොම හිතන්න ඇත් ද?

සමහරු සමහර විට හිතන්න ඇති 'හොඳ වැඩේ වුණේ. අමල් ඉවරයි' කියලා.

ඔවුන් දැන් හිතනවා ඇත්තේ කෙසේ ද?

අද මේ වෙන කොට ඔවුන් 'අම්මට හුඩු මූ මේකෙන් බේරුණානේ' කියලා හිත හිත අප්සෙට් වෙලා ඉන්නවා ඇති.

බොහෝ යහළුවන් ගැන දැන් හිතෙන්නේ මොනව ද?

අවුරුදු 21 ක් ආශ්‍රය කළ චන්ද්‍රසිරීව (සුදු කැස්බෑවාගේ අයිතිකරු) වගේම මම මාත් එක්ක හිටපු බොහෝ යහළුවන්වත් මේ සිද්ධිය නිසා හඳුනා ගත්තා. ඒක මට වටිනවා.

අපි දැන් ඔබේ වෘත්තිය ගැන කතා කරමු ද?

ඒක හොඳයි. මොකද මම ගායකයෙක්නේ.

ඔබේ හඬින් අලුත් ගීත අහන්න ලැබෙන්නේ කවදා ද?

අලුත් ගීත පටිගත කරලා තියෙනවා. අද හෙටම ඒ ගීත අහන්න ලැබෙයි. ආදරය

පිළිබඳ ගායනා කළ ජනප්‍රිය ගීත දෙකක්. නව පරපුරේ ගී පද රචකයින් සහ සංගීතඥයින් සමඟ ඒ ගීත නිර්මාණය කළේ.

වර්තමානයේ ගීත තැටි ව්‍යාපාරයක් නැහැ. ඉතින් ඔබ ජීවත් වෙන්නේ ප්‍රසංග වේදිකාවේ ගීත ගායනයෙන් පමණක්ම ද?

අනිවාර්යෙන්ම ප්‍රසංග වේදිකාවල ගීත ගායනා කරලා තමා ජීවත් වෙන්නේ. ගීත තැටි ක්ෂේත්‍රය ගැන කතාව නම් හුඟාක්ම ඛේදජනකයි. ටෙලි නාට්‍යවලත් ගීත ගයනවා. අලුතින් ගීතයක් පටිගත කළාමත් මුදලක් ලැබෙනවා.

එහෙත් ඔබ රියැලිටි වැඩ සටහන්වල විනිශ්චයකරුවෙකු ලෙස කටයුතු කළා නේද?

ඒක ඇත්ත. ඒත් ඉදිරියේ දී මම ඔය රියැලිටි ප්‍රෝග්‍රෑම්ස් වල විනිශ්චය මණ්ඩලවල කොහෙත්ම දකින්න හම්බ වෙන්නේ නැහැ. මොකද ගායකයා කියන කෙනා රටේ ජනතාව වෙනවා. ජනතාව ගායකයෝ වෙනවා. ඒ වගේම හරි සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැත්නම් ඔය රියැලිටි ප්‍රෝග්‍රෑම්ස්වල විනිශ්චය මණ්ඩලවලට නිකම් බොරුවට ගිහිල්ලා වැඩක් නැහැ. හොඳ කෙනාව තෝරා දීම අපේ යුතුකම. ඒත් අන්තිමට 'මේ යකාට සින්දු කියන්න බැහැනේ' කියලා පැත්තකට වෙලා හිත හිතා ඉන්න අවශ්‍ය නැහැ මට.

එකකට ඇවිල්ලා කැපිලා, ඊළඟ එකටත් ඇවිල්ලා කැපිලාත් කැපෙන්න කැපෙන්න සමහරු සින්දු කියන්න ඕවාට එන්නේ ඇයි? මොකද මේක බයිලයක් ද, නැත්නම් 'කොහොම හරි ඇවිල්ලා උඹලට දෙන්නම් වැඩේ' කියලා හිතාගෙන එනව ද කියන ප්‍රශ්නය මට තියෙනවා. ඕවා නිසා ගායන වෘත්තිය හෑල්ලු වීමක් සිදු වෙන්නේ ඒකට මං විරුද්ධයි.

රොබ්සන් ද සිල්වා

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment