මගේ ජීවිතේ දවසින් දවස අලුත් වෙනවා - Nadeesha Hemamalee

පුංචි තිරය වගේම ගීත රූප රචනාවලිනුත් අපට නිතර හමුවන කෙනෙක් නදීෂා හේමමාලි ගොඩක් දෙනා දන්න හඳුනන ජනප්‍රිය කෙනෙක් වුණත් අද අපි නදීෂාව දකින්නේ ඉඳලා හිටලා. අපි ඇය කතා කළේ නිතර නොදකින්නේ ඇයි කියලා දැනගන්නයි.
නදීෂා දැන් රංගනයෙන් ඈත් වෙලාද?
දැනට මම රඟපාන්නේ බොහෝම සීමිත නිර්මාණ කිහිපයක විතරයි. ඒ ඇරුණම ගීත රූපරචනාවලට දායක වෙනවා.
ඇයි ඔයතරම් තෝරාගෙන රඟපාන්නේ?
මේ දවස්වල තියෙන නිර්මාණවල ගුණාත්මක බව ගැන මට සෑහීමකට පත්වෙන්න අමාරුයි. ඒ නිසා මම රඟපාන්නේ මට සාධාරණයක් කරන්න පුළුවන් නිර්මාණවල විතරයි.


ඒ කියන්නේ නිර්මාණ වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කරනවා?
මට ලැබෙන චරිත හොඳටම කරන්න මම ලෑස්ති වෙනවා. ඒක මම හැමදාම කරන දෙයක්. දැනට මම භාරගෙන තියෙන නිර්මාණවලට මම මේ දවස්වල ලෑස්තිවෙනවා. එතකොට තමයි හොඳ රංගනයකට ඉඩ ලැබෙන්නේ.

නිතර දකින කෙනෙක් වුණාම අගය අඩුවෙනවද?
මම රඟපාන්න ආපු දවසේ ඉඳලා මට ආදරය කරන, මගේ වටේ ඉන්න පිරිසක් ඉන්නවා. ඒ අය වෙනුවෙන් මම හොඳ දේවල් කරන්න ඕන. වැඩක් නැති නිර්මාණවලින් හැමදාම පෙනුණ කියලා කාටවත් හොඳක් වෙන්නේ නෑ.

වෘත්තීය රංගන ශිල්පිනියකට ඔය තරම් තෝරාගැනීම්වලට යටවෙන්න පුළුවන්ද?
මම වෘත්තියෙන් රංගන ශිල්පිනියක් වෙන්නේ රඟපාන වෙලාවට විතරයි. ඒ හැරුණාම මගේ ව්‍යාපාර කටයුතු ගීත රූපරචනා මගේ නිෂ්පාදන කටයුතු වගේ ආදායම් මාර්ග මට තියෙනවා.

ගීත රූපරචනාවලින් ඉක්මනට ජනප්‍රිය වෙනවාද?
සංගීතය කියන්නේ මිනිසුන්ට ගොඩක් සමීප දෙයක්. ටෙලිනාට්‍ය වගේ නියමිත වෙලාවට බලන්න ඕන කියලා දෙයක් නැහැ. ඒ නිසා ගීත රූපරචනාවක් ඕනෑම කෙනකුට ඉක්මනට සමීප වෙනවා. ඇත්තටම හොඳ ජනප්‍රියත්වයක් ඒකෙන් ලැබෙනවා.

රංගන ක්ෂේත්‍රය තුළ නදීෂා හේමමාලිට වටිනා තැනක් තියෙනවාද?
ඇත්තටම එහෙම වටිනාකමක් තියෙන නිසා තමයි මට තෝරාගත්තු නිර්මාණවලට දායකවෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. ජනප්‍රියත්වය වෙනුවෙන් මගේ වටිනාකම නැතිකරගෙන නිර්මාණවලට දායක නොවන්න මම පරිස්සම් වෙන්නේ ඒ නිසා.

ව්‍යාපාර පැත්තට යොමුවුණේ මේ කා‍ලේ නිළියන්ගේ විලාසිතාවක් නිසාද?
ගොඩක් දෙනා ව්‍යාපාර පැත්තට යොමුවෙන්නේ දැන් තියෙන නිර්මාණ එක්ක රංගනයෙන්ම යැපෙන්න අමාරු නිසා. මමත් එහෙමයි. එහෙම නැතුව කවුරුත් කරන නිසා ව්‍යාපාර කරන්නේ නෑ.

දවසින් දවස ලස්සන වීමේ රහස මොකක්ද?
මම ලස්සනයි කියලා කවුරුහරි කියනවා නම් ඒකට හේතුව සතුටින් සිටීම. ඒ එක්කම මම හොඳ ගුණදායක කෑම ගන්නවා. ව්‍යායාම කරනවා. පෙනුම රැකගන්න කියලා විශේෂ දේවල් කරන්නෑ.

කටකතාවලින් නිළියකට ජනප්‍රිය වෙන්න පුළුවන්ද?
මම අනෙක් අය ගැන හොයන්නේ නැති නිසා මට ඒකට හරියටම උත්තර දෙන්න බැහැ.

නදීෂා ගැන කටකතාවක් හැදුණොත්?
මම ඒවා ගැන හොයන්නේ නැහැ. මට ඒවා වැඩකුත් නැහැ. හැබැයි මට හානියක් වෙන විදියට යමක් වුණොත් මම ඒකට අවශ්‍ය පියවර ගන්නවා. මොකද මට නම කැත කරගන්න බෑනේ.

කටකතාවලින් නදීෂා අපහසුතාවට පත්වෙලා තියෙනවාද?
එහෙම වෙලා තියෙනවා. එහෙම වෙන්නේ අපි කවුද කියලා හැමෝම පුද්ගලිකව අදුරන්නේ නැති නිසා. පිට ඉඳන් බලන අය අපි ගැන දන්නේ මාධ්‍යවලින් කියන දේවල් විතරයි. ඒ කියන දේවල් වැරදි වුණොත් අපිව අපහසුතාවයට පත්වෙනවා. සමහර අය තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ඒ විදියට බොරු ආරංචි පතුරුවන වෙලාවලුත් තියෙනවා.

නදීෂා අලුත් අය එක්ක වැඩ කරන්නේ අඩුවෙන්ද?
මම කා එක්කත් සුහද නිසා අඩුවැඩි නැතුව අලුත් පරණ ඕන කෙනෙක් එක්ක මට හොඳින් වැඩ කරන්න පුළුවන්. මම නිර්මාණවලට දායකවෙන්නේ අඩුවෙන් නිසා සමහර අය හිතනවා ඇති මම අලුත් අය එක්ක රඟපාන්නෙ අඩුවෙන් කියලා. ඒත් එහෙම දෙයක් නැහැ.

නදීෂා ගැන අලුත් ආරංචි නැද්ද?
මගේ පෞද්ගලික ජීවිතේ නම් දවසින් දවස අලුත් වෙනවා. ඒ ඇරුණාම පරක්කු වෙවී තිබුණ නිෂ්පාදන කටයුත්තක් ගැන තමයි අලුත් ආරංචිය විදියට කියන්න වෙන්නේ.

අලුත් අවුරුද්දේ ලොකුම බලා‍පොරොත්තුව මොකක්ද?
දැනට ලැබිලා තියෙන හොඳ නිර්මාණවලට උපරිමයෙන් දායක වෙන්න වගේම නිෂ්පාදනය පැත්තෙන් ඉදිරියට යන්නයි මගේ බලා‍පොරොත්තුව.

නෙලූෂා සිල්වා

නදීශාගේ ජායාරුප එකතුවක් බලන්න පහතින්

 ජායාරුප එකතුව 1



 ජායාරුප එකතුව 2

 

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment