ඇල්පිටියේ ගීතා-ප්‍රසන්න ගැටුමක්

 මට "ගණිකාව" කියලා බැන්න නිසයි "පොන්නයා" කියලා බැන්නේ- ගීතා

ගීතා කුමාරසිංහ මහත්මිය දක්‍ෂ නිළියක් බවට විවාදයක් නෑ. නමුත් ඇය බෙන්තර ඇල්පිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දේශපාලනයට සුදුසු නැති බව පසුගිය වසර කිහිපය තුළ ඇය විසින්ම ඔප්පුකර තිබෙනවා යැයි දකුණු පළාත් සභා මන්ත්‍රි මේජර් අජිත් ප්‍රසන්න මහතා (එජනිස) පැවැසීය.

ගීතා කුමාරසිංහ මහත්මිය බෙන්තර ඇල්පිටිය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සංවිධායක ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරුන් සිවුදෙනකුද සමඟ ඇල්පිටිය නගර මධ්‍යයේ මේජර් අජිත් ප්‍රසන්න මහතා මාරාන්තික උපවාසයක් ආරම්භ කරමින් මේ බව පැවැසීය.මමත් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරුන් වන සරත් අල්විස්, නලින් ප්‍රියදර්ශන, ඒ.ජී. සාගරතිලක, කේ.ඒ.බී. සුමිත් (ස්වාධීන) යන මන්ත්‍රිවරුන් මෙම උපවාසය පසුගිය 15 වැනිදා ආරම්භ කෙළේ ඉවසලා ඉවසලා බැරිම තැනයි.

ඒ වගේම බෙන්තර ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරුන් පිරිසකුත් මෙම උපවාසයට එකතුවීමට නියමිතව තිබෙනවා. අපි ඉල්ලන්නේ මේ සංවිධායකවරිය ඉවත් කරලා දෙන්න කියලයි.


බෙන්තර හා ඇල්පිටිය ප්‍රාදේශීය සභාවල ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රිවරුන් බහුතරයක් සංවිධායකවරියට විරුද්ධයි. බෙන්තර ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාට කෝපිවලින් ගැහුවා. ගාල්ලේ ජේ‍යෂ්ඨතම අමාත්‍යවරුන් වන ගුණරත්න වීරකෝන් මහතාට සීනි ඇමැති කියලා අපහාස කළා. පෞද්ගලිකව මට ඊයේ 'පොන්නයා' කියලා සම්බන්ධීකරණ කමිටුවේදී අපහාස කළා. මේ වෙලාවේ අමාත්‍ය ගුණරත්න වීරකෝන්, උසස් රාජ්‍ය නිලධාරීන්, පොලිස් නිලධාරීන් හිටියා. මේ තත්ත්වයටයි අපි විරෝධය පළකරන්නේ.

බෙන්තර ඇල්පිටිය පළාත් සභා මන්ත්‍රිවරුන් දෙදෙනකු සිටියදීයි ගීතා කුමාරසිංහ මහත්මියට ආසනේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සංවිධායකකම දුන්නේ. නමුත් අපි එදා ඇයට විරුද්ධ වුණේ නෑ. අපි විරෝධය පළ කරන්නේ ඇයගේ ක්‍රියා කලාපයටයි.

තවදුරටත් අප සූදානම් නෑ ගීතා කුමාරසිංහ මහත්මිය සමඟ වැඩ කරන්න. ඒ නිසා අප ඉල්ලා සිටිනවා ඇය බෙන්තර ඇල්පිටිය සංවිධායිකා ධුරයෙන් ඉවත් කරන්න කියලා.

ඇය හැමතැනම ගැටුම් ඇති කරගන්නවා. අනෙක් අයට සවන් දෙන්නෙ නෑ. මේ තත්ත්වය තුළ පාක්‍ෂිකයන් කලකිරීමට පත්වෙලා තියෙනවා. අපි මේ මාරාන්තික උපවාසය ගීතා කුමාරසිංහ මහත්මිය ධුරයෙන් ඉවත් කෙරෙන තුරු කරගෙන යනවා.

ඉදිරියේදී එන ජනාධිපතිවරණයේදී ගීතා කුමාරසිංහ මහත්මිය මේ ආසනය තුළ දේශපාලනය කළොත් මේ ආසනය ශ්‍රී.ල.නි. පක්‍ෂය පරාද වෙන්න ඉඩ තියෙනවා. ජනතාව අපට කියනවා මෙතුමිය තවදුරටත් හිටියොත් අපි ඡන්දය නොකර ගෙවල්වලට වෙලා ඉන්නවා කියලා. ඒ නිසයි අපි තවදුරටත් එතුමිය සමඟ දේශපාලනය කරන්න බැහැ කියන්නෙ. මගේ පෞද්ගලික අදහස තවදුරටත් එතුමිය සංවිධායක ධුරයේ තියාගන්න පක්‍ෂය තීරණය කළොත් මං හෙට කිසිම ගැටලුවක් නැතිව බොහොම ස්තුතියි ජනාධිපතිතුමනි ගීතා මැතිනිය අපට වඩා හොඳනම් එයත් එක්ක දේශපාලනය කරන්න කියලා මං දේශපාලනයෙන් සමුගෙන මගේ නීතිඥ වෘත්තිය ආරම්භ කරනවා යැයි හෙතෙම කීය.

මේ පිළිබඳ අප බෙන්තර ඇල්පිටිය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ප්‍රධාන සංවිධායිකා ප්‍රවීණ සිනමා නිළි ගීතා කුමාරසිංහ මහත්මියගෙන් කළ විමසුමකදී ඇය මෙසේ කීවාය.

මා වසර තුනක් ඇල්පිටිය සම්බන්ධීකරණ කමිටුවට ගියා. ගැටලුවක් මතු වුණේ නෑ. දැන් ඇයි මේ මම සම්බන්ධීකරණ කමිටුවට ආවා කියලා ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ.

මම ඊයේ වෙනත් රැස්වීමකට ගිහිල්ලා මඳක් ප්‍රමාද වෙලයි සම්බන්ධීකරණ කමිටු රැස්වීමට ආවේ.

එහිදී අජිත් ප්‍රසන්න මන්ත්‍රිවරයා මට කීවා මෙතැනට එන්න කිසිම අයිතියක් නැති තැනැත්තියක් මෙතැනට ඇවිත් කියා. වහාම යන්න කීවා.
එහිදී මම කීවා ඒ තැනැත්තිය නම් කරන්න කියලා. එහිදී අජිත් ප්‍රසන්න මහතා මට තදින් බැනගෙන ගියා. මා කීවා ඔබ තමයි මේ රටේ ගණිකා වෘත්තිය නීතිගත කරන්න, කැසිනෝ වෙනුවෙන් පෙනී ඉන්නෙ කියලා. එහිදී ඔහු මට කීවා උඹ තමයි ගණිකාව. මේ රටේ හැම මිනිහෙක්ම පාවාදීලා කතා කළා. එහිදී මා කිව්වා පොන්න කතා කියන්න එපා කියලා. මේ වෙලාවේ ගුණරත්න වීරකෝන් ඇමැතිතුමා මෙයා එක්ක මේක කරන්න බෑ කියලා නැඟිටලා යන්න ගියා.

මා දකුණේ මහ ඇමැති වෙනවා කියලා කියපු දවසේ ඉඳලා මොවුන් මට පහර දෙනවා. මා දමන සම්බන්ධීකරණ කමිටුවේ යෝජනා ප්‍රතික්ෂේප කළා. මම බෙන්තර ඇල්පිටිය සංවිධායක. මට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට යන්න බැරිනම් මේ සංවිධායකකම මොකටද?

මම තුන් වරක් මේ රටේ ජනප්‍රිය නිළිය වුණ කෙනෙක්. පේදුරුතුඩුවේ මිනිස්සු වුණත් මාව දන්නවා. මා මුදල් උපයන්න දේශපාලනයට ආවා නොවෙයි. මා ආවේ ජනතාවට සේවය කරන්නයි. මම පැරිෂුට් එකකින් මෙහාට ආපු කෙනෙක් නොවෙයි. දැඩි ලෙස මා කියනවා මා ආවේ බෙන්තොට ජනතාවට සේවය කරන්නයි. මොන බාධක ආවත් මා මගේ ක්‍රියාවලිය දිගටම කරගෙන යනවා.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment