මම නිවන් දැකපු කෙනෙක් ! බොරු නම් ඔප්පු කරන්න - පිටිදූවේ සිරිධම්ම හිමි

ඕනෑම වෙලාවක මනෝ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් වීමට වුවත් සූදානම්

සිරිධම්ම හිමිගේ අභියෝගය මම බාර ගන්නවා- හෑගොඩ විපස්සි හිමි

පිටිදූවේ සිරිධම්ම හිමියන් විසින් තමන් නිවන් දැකපු කෙනෙක් බවට නැවතත් ප්‍රකාශ කිරීම මත මේ වනවිට විශාල මාධ්‍ය අවධානයක් උන්වහන්සේ වෙත යොමුවී තිබෙනවා. තමන්ට අවශ්‍ය හැකි තරම් මාධ්‍ය මඟින් ප්‍රසිද්ධියක් ලබාගැනීම බවත්, "සෙවාන් වූ බව පැවසුවේ බොරුවටයි මුන් රැවටුණා" යනුවෙන් මීට පෙර ධර්ම සාකච්ජාවක් අතරතුර ප්‍රකාශ කර තිබුණි.

කෙසේ වුවද උන් වහන්සේ නිවන් දැකපු කෙනෙක් බවත් බව නැවත නැවතත්ත් ප්‍රකාශ කර තිබෙනවා. මේ පසුගිය ඉරිදා පුවත්පතකට පවසා තිබූ කරුණුයි.


ප‍්‍රශ්නය: ඔබව හන්සේගෙන් ශාසනයට හානියක් වෙනවා කියලා ප‍්‍රබල චෝදනා එල්ල වෙනවා.....?

පිළිතුර: මම අහන්නේ ඒ හානිය මොකක්ද? ශාසනය කියන්නෙ මොකක්ද? හැමෝම ශාසනය කියලා හිතාගෙන ඉන්නෙ, මේ ගොඩනැගිලි ටිකට. මම ශාසනය කියන්නෙ හිත හදා ගැනීමට. ආධ්‍යාත්මික දියුණුව භෞතික සම්පත් වලින් මනින්න බෑ.

ප‍්‍රශ්නය: ඔබවහන්සේ මාර්ග ඵලයක් ලැබූ බව ප‍්‍රකාශ කරල තිබුණා. මොකක්ද ඔබවහන්සේ අවබෝධය ලැබූ මාර්ග ඵලය...?

පිළිතුර: මම සත්‍ය අවබෝධ කරලා ඉන්නෙ. මම නිවන් දැකපු කෙනෙක්. කවුරු හරි කියනවා නම් මම සත්‍යය අවබෝධ කළේ නෑ කියලා එයා මා ළඟට ඇවිත් නිගමනය කරලා බලන්න ඕනෙ. එහෙම නැතුව යමක් ප‍්‍රකාශ කිරීම වැරදියි. මා නිවන් දැක්කා කියලා මම කියනවා නම් ඊට සම්බන්ධ සියලූ දේ මගෙන් විමසිය යුතුයි. ගෞතම බුදුහාමුදුරුවො සම්බුද්ධත්වයට පත්වුණා. උන්වහන්සේ පස්වග මහණුන් සොයාගෙන වැඩම කළා. මගදි උපක හමුවුණා. උපක අහනවා 'ඔබවහන්සේගේ ඉන්ද්‍රිය ප‍්‍රසන්නයි, ඔබවහන්සේ කවුද' කියලා. එතකොට උපකට බුදුහාමුදුරුවො කියනවා, 'මේ ලෝකයේ සිටින එකම රහතා මම වෙමි, සම්මා සම්බුද්ධ වෙමි. දම්සක් පැවැත්වීම සඳහා කසීරට බලා වැඩම කරමි'. උපක ඒ කතාවට හිනා හුණා. 'එහෙනම් ඔය තමුන්නාන්සෙ කියන්නෙ අනන්ත ජින කෙනෙක් කියලනෙ. ආ..... වෙන්න ඇති' කියලා ඔලූව වනලා ගියා. ලෝකයේ සත්‍යාවබෝධය කළ සියලූම උතුමන්ට ජීවත්ව ඉන්න මිනිස්සු පහර දෙනවා. මැරිල ඉවර වුණාම වඳිනවා.

ප‍්‍රශ්නය: ඔබ වහන්සේ නිර්වාණාවබෝධය කළා කියනවනෙ. ඒ සඳහා භාවනා වැඩුවද?

පිළිතුර: නිර්වාණාවබෝධය කරන්නේ භාවනා කරලා නොවෙයි. විපස්සනා මාර්ගයකින්. විපස්සනාවෙන් තොර නිවනක් නෑ. සතර සතිපට්ඨානය වඩන්න ඕනැ යම් භික්ෂුවක්, යම් ගිහියෙක් සතර සතිපට්ඨානය වැඩුවේද එක්කො ඒ භික්ෂුව අනාගාමී වෙනවා. එක්කො ඒ භික්ෂුව රහත් වෙනවා. මම දේශනා කරන්නෙ සජීවී දහමක්. ඒක මළ දහමක් නෙවෙයි. සම්ප‍්‍රදායට ගැතිකම් කරන මෝඩයන්ට ඒකට පණ දෙන්න බෑ. ඥානවන්තයන්ට ඒ මාර්ගය විවෘතයි.

ප‍්‍රශ්නය: නිවන් දැක්කට පස්සෙ යළි ඉපදීමක් නැති බව බුදුදහමේ ඉගැන්වෙනවා. ඉතින් ඔබ වහන්සේත් යළි උපදින්නේ නෑ.... ඒක නේද ඇත්ත....?

පිළිතුර: මා යළි උපදින්නෙ නෑ කියලා මට විශ්වාසයි. එච්චරයි. හැබැයි මම උපදින්නෙ නෑ කිවුවට ඔබ ඒක පිළිගන්න එපා. එතකොට ඔයා මෝඩයි. ඔයා ඒක පිළිගන්න නම් මා විසින් වඩන ලද විපස්සනා මාර්ගය මගෙන් අහන්න ඕනෙ. උපදින්නේ නැති බව තීරණය කළ විදිහ, අහන්න ඕනැ මේක එකපාර කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ පුද්ගලයා මරණය ජය ගන්න ඕනැ.

ප‍්‍රශ්නය: සමන්ත භද්‍ර හාමුදුරුවො මරණය ජය ගත්ත කෙනෙක්....?

පිළිතුර: කිසිම මනුෂ්‍යයෙක් මරණය සතුටින් පිළිගන්න කැමති නෑ. යමෙක් මරණය සන්තෝෂයෙන් පිළිගන්න සූදානම් නම් ඔහුට මරණය මගුලක් බවට පත්වෙනවා. මරණය මගුලක් කර ගන්න. ඒකයි මගේ ධර්මය. අපි තෙමගුල කියන්නෙ මේකටයි. මම මරණය ජය ගත්තා.

ප‍්‍රශ්නය: ඔබ වහන්සේ නිවන් දැක්කාට පස්සෙ ඇතැම් මාධ්‍ය ඔබ වහන්සේට වැහුනානෙ....?

පිළිතුර: සමහර මාධ්‍ය වැහුණා. ඒක හරි. සමහර සම්ප‍්‍රදායික භික්ෂූන් වහන්සේලා මාධ්‍යවලට ගිහින් කිව්වා, මෙයාට මාධ්‍යවල ඉඩ දෙන්න එපි කියලා. ඒ මාධ්‍යවල යමක් කමක් හිතන්න පුළුවන් මිනිස්සුත් ඉන්නවා. ඒ අය මගේ දේශනා අහන්න පටන් ගත්තා. ඒවා අහල ඒ අය තීරණය කළා, මෙතෙක් කලක් අපි නාහපු ධර්මයක්, මොකක්දෝ හැංගිච්ච දෙයක් කියනවා. ඒ නිසා මේකට අපි ඉඩ දෙන්න ඕනැ කියලා. මා කියන්නෙ, ඔය මාධ්‍යත් මම කියන දේ අහන්න. මම කියන දේ හරි ගැඹුරුයි. ඒක ලේසි පහසු නෑ. එකවර තේරෙන්නෙ නෑ. ටිකක් වෙලා අහනකොට තේරෙනවා, මොකක්ද කියන්නෙ කියලා. මම දේශනා කරන හැම දහම් කරුණම ත‍්‍රිපිටක බුද්ධ වචනයේ තියන තැන පෙන්වනවා. සම්මුති බුද්ධ වචනය හා පරමාර්ථ බුද්ධ වචනය කියලා දෙකක් තියනවා. මේ දෙකම අහන්න ඕනැ එකක් විතරක් පිළිගන්න එපා. මේ දෙකම ත‍්‍රිපිටකයේ තියනවා. මා දේශනා කරන්නේ ඒ ධර්මයයි.

ප‍්‍රශ්නය: ඔබ වහන්සේ නිවන් ලැබූ බව ඔබවහන්සේම දේශනා කරනවනෙ. එහෙනම් එදා හිටපු පිටිදුවේ හාමුදුරුවන්ට වඩා අද සමන්ත භද්‍ර හාමුදුරුවො වෙනස්. නිවන් ලැබීමත් සමග අවබෝධය පහළ වන බව ධර්මයේ සඳහන් වෙනවා....?

පිළිතුර: මගෙ මානසික වෙනසක් වෙලා තියනවා. ඕන කෙනකුට මගෙන් ප‍්‍රශ්න අහන්න පුළුවන්. ඒ ප‍්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවන්. මට හොඳට සිහිය තියනවා. මුල, මැද, අග මට මාරුවෙන්නෙ නෑ. මාරු කරන්නත් බෑ. පිටිදුවෙ හාමුදුරුවො වෙනස් වෙලාද කියලා ඔබ මගෙන් අහන්න එපා. එදා සහ අද මගෙ දේශනා, සාකච්ඡා, දෙන උත්තර සංසන්දනය කරන්න.

ප‍්‍රශ්නය: නිවන් දැකීම මගින් කරන්නෙ අත හැරීමනෙ. ඔබ වහන්සේ නිර්වාණාවබෝධය ලැබී නම් අත් හැරි කෙනෙක් වෙන්න ඕනැ. එහෙම නේද?
පිළිතුර: මම මනසින් බැඳෙන්නෙ නෑ. මනසින් බැඳෙනවා කියන්නෙ විඩාවක්. මෙතන පුටුවක් තියෙනවා. මම පුටුවෙ වාඩිවෙලා ඉන්නවා. මේ පුටුව ඔළුවෙ තියා ගත යුතු දෙයක් නෙවෙයි. මම පුටුව ඔළුවෙ තියා ගත්තම රෑ නින්දට ගියත් මතක් වෙන්නෙ පුටුව. නිදාගන්න ගියාම මට අවශ්‍ය ඇඳ විතරයි. මා මොහොතක වර්තමානය මත ජීවත්වෙනවා. බොහෝ දෙනා ඉන්නෙ වර්තමානයේ නෙමෙයි. ඔෆිස් එකට ගියාම ගෙදර ගැන මතක් කරනවා. ගෙදර ගියාම ඔෆිස් එකේ ඒවා කල්පනා කරනවා. මේක නොවෙයි විය යුත්තෙ. ඔෆිස් එකේදි ඔෆිස් එකේ ඒවා කල්පනා කළ යුතුයි. ගෙදරදී ගෙදර ඒවා. මේ මොහොත, වර්තමානයේ සිහියෙන් ජීවත් වෙන්න. මම දේශනා කරන්නෙ නින්දට ගියාම සිිටිය යුත්තේ සුව නින්දක මිස මිය ගිය දවාලක නොවන බවයි. පාලනය කිරීම් කළ යුතුයි. බුදුහාමුදුරුවොත් විහාර චාරිකාවෙ යෙදුනනෙ. භික්ෂූන්ට අනුග‍්‍රහ දැක්වූවනෙ. තමන්ගෙ ශිෂ්‍යවරයන්ට නිවන් මග උගන්වන්න ඕන. දන් දෙන දායකයන්ට අවශ්‍ය යුතුකම් ඉෂ්ඨ කරන්න ඕනැ. නමුත් බැඳෙන්න වුවමනා නෑ.

ප‍්‍රශ්නය: ඔබවහන්සේ තාමත් භාවනා කරනවද?
පිළිතුර: නිවන්දැකලා ඒ මාර්ගය ප‍්‍රත්‍යක්‍ෂ කරපු ආර්යයෝ භාවනා කරන්නෙ නෑ. ඒ අය ජීවිතය භාර ගන්නවා විතරයි. කෙස් ඉදුනම ඉදුනු බව, නාකි වුණාම නාකි වුණ බව, බඩගිනි වුණාම බඩගිනි වුණ බව, නිදිමත වුණහම නිදිමත වූ බව භාරගන්නවා. ධර්ම මාර්ගය ගැන ඕන දෙයක් මගෙන් අහන්න. එහෙම නැතුව මාව තක්සේරු කරන්න එන්න එපා.

මේ අතර පසුගියදා 8 වනදා ලක්බිම පුවත්පතේ "පිටිදූවේ සිරිධම්ම හිමි රහත් වෙලාද?" යනුවෙන් පළවූ ලිපියට සිරිධම්ම හිමියන් පිළිතුරක් ලියා තිබෙනවා අගලකඩ සිරිසුමන හිමියන්, හෑගොඩ විපස්සි හිමියන්, මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමිපාණන් හා ඉත්තෑපානේ ධම්මාලංකාර අනුනාහිමියන් ට වාදයකට එන ලෙස උන්වහන්සේ ලියූ එම ලිපිය පහතින්.


අගලකඩ සිරිසුමන හිමියන් කියන විදිහට නැති ගුණයක් පෙන්වීමෙන් පාරාජිකාවක් වෙන්නේ නෑ

පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන් දක්වා ඇති පරිදි ධර්මයේ සඳහන් වන ආකාරයට කිසිවකු තමන් කෙරෙහි නොපවත්නා ගුණයක් ප්‍රකාශ කළහොත් පාරාජිකාවක් සිදු වන බව උන්වහන්සේ අවධාරණය කොට ඇත. නමුත් ත්‍රිපිටක බුද්ධ භාෂිතයේ සඳහන්ව ඇති ආකාරයට විනය පිටකයේ කිසිදු තැනක, තමා තුළ නැති ගුණයක් පෙන්වීම පාරාජිකාවක් ලෙස සඳහන් කර නැත. නැති ගුණයක් ප්‍රකාශ කළහොත් භික්ෂුවකට වන්නේ ඇවතක් පමණි. එහෙත් පාරාජිකා පාලියට අනුකූලව යම්කිසි භික්ෂුවක් නොලැබූ උත්තරී මනුස්ස ධර්මයක් ප්‍රකාශ කළහොත් පමණක්ම පාරාජිකාවක් වේ. පළමුව අගලකඩ සිරිසුමන හිමියන් සිංහල භාෂාව අධ්‍යයනය කිරීම නවත්වා පාරාජිකා පාලිය අධ්‍යයනය කිරීමට අවධානය යොමු කළේ නම් මැනවියි මම සිතමි.

හෑගොඩ විපස්සි හිමියන් කියන විදිහට කාශ්‍යප මහතෙරුන් රහත් වෙලා නෑ

අද ලාංකීය භික්ෂු සමාජය දෙස බලන විට ඔවුන් ධර්මය පිළිබඳ ඔවුනොවුන්ට සිතැඟි පරිදි විවිධ අදහස් ප්‍රකාශ කරන බව අපට දක්නට ඇත. එයට ප්‍රධාන හේතුව නම් ත්‍රිපිටක බුද්ධ වචනය උගත් භික්ෂුන් නොමැති වීමයි. යම් භික්ෂුවකට සැබෑම බුද්ධ වචනය විග්‍රහ කිරීමට අවශ්‍ය නම් , ඒ භික්ෂුව ත්‍රිපිටක සම්බුද්ධ භාෂිතය අකුරක් නෑර අධ්‍යයනය කොට කරුණු කාරණා ගෙනහැර දැක්විය යුතු යැයි කියා මම විශ්වාස කරමි.

එමෙන්ම රත්මලානේ ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමියන් ප්‍රකාශ කරන්නේ රහත් වූ කෙනෙක් පෘථග්ජනයන්ට අභියෝග කරනවාද යන්නයි. නමුත් උන්වහන්සේම අවස්ථා කිහිපයකදීම බුද්ධ වචනයට විරුද්ධව විකෘති අදහස් දක්වා තිබුණු බව අවධාරණය කිරීමට කැමැත්තෙමි. එසේම උන්වහන්සේ අවස්ථා කිහිපයකදීම මා ධර්මය විකෘති කරන බව දන්වා සිටියත් ඒ විකෘති කරන ධර්මය කුමක්ද යන්න සඳහන් නොකිරීම ගැන මා කනගාටුවට පත් වන අතර ඔබ වහන්සේ විකෘති කරන ලද ධර්මය කුමක්දැයි පෙන්වා දීමට මා මෙය අවස්ථාවක් කර ගනිමි.

උන්වහන්සේ ඉහත දක්වා ඇති රහත් වූ කෙනෙක් පෘථග්ජනයන්ට අභියෝග කරනවාද යන පළමු ප්‍රකාශයම සාවද්‍යය. එසේනම් උන්වහන්සේ පවසන පරිදි, කුමාර කාශ්‍යප මහතෙරුන් වහන්සේ පායාසි රාජන්‍යත් සමග වාද කිරීමෙන් කුමාර කාශ්‍යප මහ තෙරුන් වහන්සේ රහතෙකු නොවන බව විපස්සි හිමියන් වක්‍රාකාරයෙන් පවසයි. පායාසි රාජන්‍ය ඒ වන විටත් පුනර්භවය පිළිනොගන්නා අන්ත මිථ්‍යාදෘෂ්ටික අදහස් තිබූ අයෙකි. එහෙත් කුමාර කාශ්‍යප මහතෙරුන් වහන්සේ ඔහුත් සමග වාද කොට ඔහුව වාදයෙන් පරදා ඔහුට නිවැරදි මග පෙන්වන ලදී.

එහෙත් රත්මලානේ ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමියන් ප්‍රකාශ කරන ආකාරයට කුමාර කාශ්‍යප මහතෙරුන් වහන්සේ රහතෙක් නොවිය යුතුය. මන්ද පෘථග්ජනයෙකු සමග වාද කළ නිසාය. එය පළමු කරුණයි. එමෙන්ම උන්වහන්සේ එක්තරා පුවත්පතක පළ කර සිටියේ සකෘදාගාමී බවට පත් වූ කෙනෙක් සහමුලින්ම කම්සැප විඳීම අත්හරිනවා යන්නයි. නමුත් උන්වහන්සේ අංගුත්තර නිකායේ මිගසාලා සූත්‍රය පිළිබඳ නොදැනීම පිළිබඳව මම කනාගාටු වෙමි. මිගසාලා සූත්‍රයේ මිගසාලා උපාසිකාවත් ආනන්ද තෙරුන් වහන්සේත් සකෘදාගාමී පුද්ගලයන් දෙදෙනකු පිළිබඳව බුදුන් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරන ප්‍රශ්න කිරීමක් ගැන සඳහන් වෙයි. මෙම සකෘදාගාමී පුද්ගලයන් දෙදෙනාගෙන් එක් සකෘදාගාමී පුද්ගලයෙක් බ්‍රහ්මචාරී වුණ බවත්, අනෙකා විවාහ වී විවාහ ජීවිතය ගත කළ බවත්, එහෙත් දෙදෙනාම මියගොස් එකම තුසිත දෙව්ලොව ඉපදුන බවත් බුදුන් සඳහන් කරයි.

මෙය ඇසූ මිගසාලා උපාසිකාව බුදුන් වහන්සේට වැරදුනේදැයි ආනන්ද තෙරුන් වහන්සේගෙන් ප්‍රශ්න කරයි. ආනන්ද තෙරුන් වහන්සේ මිගසාලාගේ මේ ප්‍රශ්නය ගැන බුදුන් වහන්සේගෙන් විමසූ විට බුදුන් වහන්සේ අසන්නේ හැඳිමිටේ නුවණ තියෙන මිගසාලා වැනි මෝඩ ස්ත්‍රියකට සර්වඥතාක් ඥානය තියෙනවාද කියාය. ඇය මෙවැනි ප්‍රශ්නයක් අසන්නේ ඒ ඥානය නැති නිසාය. මට විපස්සි හිමියන්ගෙන්ද අසන්නට ඇත්තේ ඒ ප්‍රකාශයමයි. ඔබ වහන්සේ ධර්මය විකෘති කරමින් සම්පූර්ණ සර්වඥතාක් ඥානයට අපහාසයක් කරන අතර මීගසාලාව වැටුණ තත්ත්වයට වැටුණ බව ඔබවහන්සේ නොකියා පවසයි.

එමෙන්ම හෑගොඩ විපස්සි හිමියන් පවසන්නේ මා මනෝ වෛද්‍යවරයකුට පෙන්විය යුතු බවයි. මාගේ කාරුණික ආරාධනාව නම් ඔබවහන්සේ ඉඩ තිබෙන, ඔබ වහන්සේට පහසු වෙලාවක ඒ වෛද්‍යවරයාත් සමග පැමිණ මට බෙහෙත් නියම කරන ලෙසත්, ඒ ඕනෑම වෙලාවක මා ඉදිරිපත් වීමට සූදානම් බවත්ය. එසේ බෙහෙත් නියම කිරීමට ඒ වෛද්‍යවරයාට නොහැකි වුවහොත් ඔබවහන්සේ මට බෙහෙත් නියම කරන මෙන් මා ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ දෙපළටම නොහැකි වුවහොත් ඔබලා දෙදෙනාටම භව දුකට බෙහෙත් ලබාදීමට මම ‍පොරොන්දු වෙමි. එසේම ඕනෑම ධර්ම සංවාදයකට මා ඔබ වහන්සේටද අභියෝග කරමි.


බෙල්ලන්විල නාහිමියන් කියන විදිහට රහතන් වහන්සේලා හොයන්න බෑ

එමෙන්ම අප ආශ්‍රමයේ ආසන්නයේම වැඩසිටින මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමිපාණන් වහන්සේ සඳහන් කරන ආකාරයට රහතන් වහන්සේලා කවුරුන්ද යන්න අපට කියන්නට බැහැ. මා පවසන්නේද එයමයි . එමෙන්ම උන්වහන්සේ සඳහන් කරනවා රහත් බව තිබෙන්නේ තමා තුළ බවය. මා පවසන්නේ ද එයමය. එබැවින් උන්වහන්සේට මා බෙහෙවින් ස්තූතිවන්ත වන්නේ මා ප්‍රකාශ කරන අදහස්ම ප්‍රකාශ කිරීම ගැනය. එසේම බුදුන් වදාළ ධර්මය තුළින් ඕනෑම කෙනෙකුට අවබෝධ කරන්න පුළුවන් කියා උන්වහන්සේ සඳහන් කරනවා. මාද ‍පොදුවේ පිළිගන්නා කරුණ නම් බුදු දහම සජීවී දහමක් බවයි.

අප ද ගේ දොර රැකී රක්ෂා සියල්ල අතහැර පැවිදි වූයේ බත් කකා ඉන්න නොව සසුන වෙනුවෙන් යමක් කිරීමටය. මා ගෙනයන වැඩපිළිවෙළ හරිද වැරදිද යන්න ඔබ වහන්සේලා විවේචනය කිරීම ඉතා සාධාරණ වන්නේ පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි. එමෙන්ම උන්වහන්සේ සඳහන් කරන පරිදි සත්‍යය අවබෝධ කිරීම ‍ලේසි පහසු කාර්යයක් නොවන බවයි. එය සම්පූර්ණයෙන්ම බුද්ධ වචනයට ප්‍රතිවිරුද්ධ අදහසකි. බුදු දහමේ පැහැදිලි කරන ආකාරයට දහම සජීවී නම්, නමුත් අවබෝධ කිරීමට නොහැකි නම්, එය ‍ලේසි පහසු කාර්යයක්ද නොවේ නම්, ශ්‍රද්ධාව ඇති කුලපුත්‍රයෙක් මේ සසුනෙහි විසීමෙන් ඇති පලය කිම ? එසේනම් සියලු ශ්‍රද්ධාව ඇති කුලපුත්‍රයන් මේ සසුනෙන් බැහැරව නැවත ගිහි ජීවිත ගතකරන්න කියා නොවේද ඔය ඔබවහන්සේ වක්‍රාකාරයෙන් ප්‍රකාශ කර සිටින්නේ. එම නිසා ඒ ගැන තව වරක් සිතා බලන සේක්වා.

එමෙන්ම මා සත්‍යය අවබෝධ කළාද නැද්ද යන්න උන්වහන්සේ නිගමනය කළ යුත්තේ මා සමග ධර්ම සාකච්ඡාවකින්ම පමණයි. පාරාජිකා පාලියේ හා විනය පිටකයේ දක්වන ආකාරයට භික්ෂුවක් පාරාජිකා වෙලාද නැද්ද යන්න පුවත්පතකටවත්, මාධ්‍යවේදියකුටවත්, පුවත්පතකට ලිපි ලියපු භික්ෂුවකටවත් කළ නොහැක. සැබෑවටම කළ යුත්තේ ඒ භික්ෂුව අදාළ මාර්ගඵල ලබා ඇතැයි කියන භික්ෂුව සමග සාකච්ඡාකොට තීන්දු තීරණ නිගමනයන්ට එළැඹීමය. තවද මා පාරාජිකාවකට හසුවන්නේ එය වැරදියට භාවිතා කළා නම් පමණි. එමෙන්ම ඔබ වහන්සේ එය නිගමනය කළ යුත්තේ ද මා සමග සිදුකරන ධර්ම සාකච්ඡාවකින්ම පමණි. එසේ එහි හරි වැරැද්ද නිගමනය කිරීමට ඔබ වහන්සේ මා සමග ධර්ම සාකච්ඡාවකට පැමිණෙන සේක්වා. තවද ඔබ වහන්සේ අවසාන ජේදයේ දක්වා ඇත්තේ මාර්ගඵල ලැබුවා යැයි පැවසීමෙන් කඩ වන්නේ උත්තරීතර මනුසද් ධර්මයයි කියාය. එයින් පැහැදිලි වන්නේ බුද්ධ කාලයේ ජීවත් වූ සියලු රහතුන් පාරාජිකා වී ඇති බවයි.


ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් කියන විදිහට සිද්ධාර්ථ ගෞතමයන් රහතෙකුද, බුදු කෙනෙකුද නොවේ

එමෙන්ම ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් පවසන්නේ තමා රහත් යැයි කියා ගන්නා පුද්ගලයා ළඟ රහත් බව ඇත්තෙම නැහැ කියායි. එසේනම් ඉත්තෑපානේ ධම්මාලංකාර අනුනාහිමියන් පවසන පරිදි මේ වැරැද්ද පළමුවම කොටඇත්තේ ගෞතම බුදුන් වහන්සේ විසිනි. මන්ද උන්වහන්සේත් සෘජුවම උපක ආජීවකයනට පවසා සිටියේ මේ ලෝකයේ සිටින එකම රහතා මම වෙමි, සම්මා සම්බුදුවරයාද මම වෙමි යනුවෙන් බැවිනි. (මජ්ක්ධිම නිකාය - අරිය පර්යේණ සූත්‍රය), එසේ නම් සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ රහතෙකුද, බුදු කෙනෙකුද නොවේ. තවද සංයුක්ත නිකායේ පින්ඩෝල සූත්‍රයේ ඉතා පැහැදිලි වශයෙන් සඳහන් වන පරිදි පින්ඩෝල භාරද්වාජ මහ රහතන් වහන්සේත් තමන් වහන්සේ සති, සමාධි, ප්‍රඥා වැඩූ හෙයින් අරහත් බවට පත්වූ බව ප්‍රකාශ කළහ. නමුත් එය භික්ෂූන් වැරදි යැයි ප්‍රකාශ කරන විට ගෞතම බුදුන් වහන්සේ එය නිවැරදි යැයි අනුමත කළ සේක. එසේනම් ඉත්තෑපානේ ධම්මාලංකාර අනුනාහිමියන් පවසන පරිදි පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේද රහතෙක් නොවේය. එමෙන්ම ථෙර ථේරී ගාථා පාලියේ සියලු තැන්හිම දක්වන්නේ ඒ තෙරුන් වහන්සේලා, තෙරණින් වහන්සේලා අකෘතය කරන ලද බව, කළ යුතු සියල්ල කර අවසන් බවයි. එසේනම් ඉත්තෑපානේ ධම්මාලංකාර අනුනාහිමියන් පවසන පරිදි ථෙර ථේරී ගාථා පාලියද වැරදිය.

එමෙන්ම මා දේශනා කරන ධර්මය පිළිබඳව ඔබලා සිව් නමට කුමන හෝ ගැටලුවක් ඇත්නම් මජ්ක්ධිම නිකායේ ජබ්බිසෝධන සූත්‍රයට අනුව කෙනෙකු කුමන ආකාරයේ සත්‍යාවබෝධය හෝ මාර්ගඵල තත්ත්වයක් ලැබුවද අනෙක් භික්ෂුන් එය පිළිගන්නේද ප්‍රතික්‍ෂේප කරන්නේද නැතිව ඊට අදාළ ධර්ම මාර්ගය, නිවන් මාර්ගය ගැන ඒ අදාළ භික්ෂුවගෙන් ප්‍රශ්න කළ යුතුයි. එසේම ඒ සමාපත්තිය ගැන, සෝතාපන්න මාර්ගය ගැන, ඵලය ගැන, සමාපත්තියට පත්වෙන ආකාරය, එයින් ඉවත් වන ආකාරය, ශුන්‍යතා විහරණය, අනිමිත්ත චෙතෝ සමාධිය, ප්‍රඥා විමුක්තිය, චිත්ත විමුක්තිය ඒ නිර්වාණ මාර්ගය, පටිසෝතගාමී මාර්ගය ඒ සියල්ල පිළිබඳ මගෙන් ප්‍රශ්න කළ යුතුය.

ඒ ප්‍රශ්නකොට ඔබ වහන්සේලා මා කියන දේට එකඟ නම් පිළිගත යුතුය. නැතිනම් ප්‍රතික්‍ෂේප කළ යුතු අතර ඔබ වහන්සේලා මට ඒ නිවැරදි නිර්වාණ මාර්ගය පිළිබඳ නිවැරදි ධර්ම විග්‍රහයක් ලබාදිය යුතුය. තවද මා අසන ප්‍රශ්නවලටද පිළිතුරු ලබාදීමට කාරුණික විය යුතුය. නමුත් මීට පෙර සිදුවූයේ මට හිංසා කිරීම, ඇවිත් පහරදීම, මා ඝාතනය කිරීමට සූදානම් කිරීම, දායකයන්ට පහර දීම, බණ අහන මිනිසුන්ට පහර දීමය. එසේම ඒ සියල්ල පිළිබඳව ඔබවහන්සේලා සියලු දෙනාම කරුණු කාරණා ඉතා හොඳින් දන්නා බව මම දනිමි. නමුත් මා ඔබ වහන්සේලා සිව්නම ගැන ඉතාම සන්තෝෂයට පත් වෙමි.

ඔබවහන්සේලා සියලු දෙනාම සඳහන් කරන්නේ සිව් වන පාරාජිකාව පිළිබඳවයි. නමුත් අපි පසුගිය දිනවල ප්‍රසිද්ධ මාධ්‍යවලත්, අන්තර්ජාලය හරහාත් භික්ෂූන් වහන්සේලා ස්ත්‍රීන්ගේ මුහුණ සිපගන්නා ඡායාරූප, සොරකම්වලට සම්බන්ධ ඡායාරූප, මනුෂ්‍ය ඝාතනවලට සම්බන්ධ ඡායාරූප දැක ගත්තෙමු. මේවාට ලංකාවේ චිර ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා පවා සම්බන්ධ වූ අවස්ථා අප දැක ඇත. මා සිතන්නේ මේ වනවිටත් ඔබ වහන්සේලා සිව්වන පාරාජිකාව නොව පළමු, දෙවන හා තෙවන පාරාජිකා ගැන සලකා බලා ඒවාටද පිළිතුරු ලිපි සකස් කරනවා ඇත කියාය. එසේ සකස් නොවුවහොත් මා එය දකින්නේ ඔබ වහන්සේලා ඉහත පාරජිකාවන් ත්‍රිත්වය ඉවත්කොට (සමූහනය) ඇති බවයි.

ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දැක්වූ අදහස් පිළිබඳව මා කෘතවේදීව ස්තූතිවන්ත වෙමි. එමෙන්ම ඔබ වහන්සේලා සිව්නම සමග විවෘත සභාවකදී ධර්ම සාකච්ඡාවක් (වාද) කිරීමට කැමැති වෙමි. එවිට මධ්‍යස්ථ මතධාරීන්ටද, සියලු ජනතාවටද සත්‍ය, අසත්‍ය ප්‍රකාශ කරන්නේ කවුරුන්දැයි දැනගත හැකි අතර එසේ නොමැතිව පුවත්පත් මගින් සාකච්ඡා කිරීමෙන් සිදුවන්නේ වැරදි මිථ්‍යා අදහස් සමාජගත වීම පමණි.

සිරි සමන්තභද්‍ර හිමි (පිටිදූවේ සිරිධම්ම හිමි)

සිරිධම්ම හිමිගේ අභියෝගය හෑගොඩ විපස්සි හිමි භාර ගනී

එම ලිපිය මඟින් සිරිධම්ම හිමියන් විසින් තමන් වහන්සේ ඇතුළු භික්‍ෂූන් වහන්සේලා සිවුනමක් සම්බන්ධයෙන් පල කර ඇති ලේඛණ ද්වේශ සහගතව සකස් කරන ලද්දක් බවත් රහතන් වහන්සේ නමක් යනු ද්වේශ නැසූ පුද්ගලයෙක් බවත්, සිරිධම්ම හිමියන්ගේ පාපකාරී හැසිරීම් රටාව තුල අඩුම කරමේ මාර්ගඵල ලාභියෙකුවන් විය නොහැකි බවත් හෑගොඩ විපස්සි හිමි පවසනවා

ඉදිරි සතිය තුල සාකච්චා කර සිරිධම් හිමියන් හා විවෘත සංවාදයක යෙදීමට තමන් වහන්සේ සූදානම් බවත් සඳහන් කරන උන් වහන්සේ එහිදී රහත් බව සම්බන්ධයෙන් තීරණය කල හැකි යයිද සඳහන් කරයි.




-සම්බන්ධිත පුවත්-
පිටිදූවේ සිරිධම්ම හිමි නැවතත් කරලියට
කෝනාගම බුදුහාමුදුරුවන්ට චයිනීස් සෙරෙප්පුත් තිබුණා
පිටිදුවේ සිරිධම්ම හිමියන්ට අභියෝගයක් !
මිත්‍යාදෘෂ්ටික සමන්ත භද්‍ර උමතු රෝගියෙක්- ඥානසාර හිමි
පිටිදූවේ සිරිධම්ම හිමිගේ රූපවාහිනී සංවාදය කවදාද?
මම නිවන් දැකපු කෙනෙක්. බොරු නම් ඔප්පු කරන්න - සිරිධම්ම හිමි

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment