තවත් සුදු කැස්බෑවෙක්ගේ ජීවිතේ අනතුරේ !

 මේ කැස්බෑවාත් අමල් පෙරේරා  පැමිණ රුපියල් කෝටි තුනහමාරකට ඉල්ලලා !

 කොස්ගොඩ, හිද්දොරුවේ ජීවත් වන ඇලි වර්ගයේ සුදු කැස්බෑවාද කිසියම් පිරිසක් සොරා ගෙන යනු ඇතැයි එම කැස්බෑවාගේ හිමිකරු බිය පළ කරයි. දැනට අතුරුදන්වී සිටින සුදු කැස්බෑවාගේ වර්ගයේ ලොකුම සුදු කැස්බෑවා සිටින්නේ කොස්ගොඩ, හිද්දොරුවේ අමරසේන ප්‍රනාන්දු මහතාගේ කැස්බෑ මධ්‍යස්ථානයේ ය.ඉකුත් 16 වැනිදා රාත්‍රියේ කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයෙන් අතුරුදන් වූ සුදු කැස්බෑවා ගැන කිසිදු තොරතුරක් මේ දක්වා ලැබී නැත. එම මධ්‍යස්ථානයට මීටර් 300ක් පමණ නුදුරින් ජීවත් වන අමරසේන මහතා තමන්ගේ ගෙවත්තේ ටැංකියක ජීවත් වන සුදු කැස්බෑවාද කිසියම් පිරිසක් විසින් පැහැර ගෙන යනු ඇතැයි බිය පළ කරයි.

අමරසේන ප්‍රනාන්දු මහතාගේ කැස්බෑවාද ජනප්‍රිය තරුණ ගායක අමල් පෙරේරා මහතා පැමිණ රුපියල් කෝටි තුනහමාරකට ඉල්ලුවේ යැයි ඒ මහතා බදාදා (18) මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය. අමල් පෙරේරා මහතා මාලදිවයින් ජාතික මුස්ලිම් පිරිසක් සමග පැමිණ සුදු කැස්බෑවා එම මිලට ඉල්ලූ බවත්, තවත් අය රුපියල් කෝටි හතක් වැනි ඉහළ මිලකට සුදු කැස්බෑවා මිලදී ගන්න‍ට සැරසුන බවත් අමරසේන මහතා කියයි.

විවිධ ව්‍යාපාරිකයින්, සුදු ජාතිකයින්, දේශපාලඥයින්ගේ ගෝල බාලයින් සමග දෙසීයකට වැඩි පිරිසක් තම කැස්බෑවා මිලට ඉල්ලා ඇති නිසා කිසියම් මොහොතක තම කැස්බෑවාද පැහැර ගෙන යනු ඇතැයි ඔහු බිය පළ කරයි.


ටැංකියේ ජීවත් වන සුදු කැස්බෑවා පෙන්වන අමරසේන මහතා
මගේ මේ කැස්බෑවා ඉල්ලා විවිධ පුද්ගලයින් ආවා. සල්ලි මලු පිටින් අරගෙනත් සමහර පුද්ගලයින් ආවා. කොළඹ චණ්ඩි ඇමැතිවරයෙක්ගේ ගෝලයෝ පිරිසකුත් ආවා. ජනප්‍රිය ගායක අමල් පෙරේරාත් ආවා. ඊට අමතරව ව්‍යාපාරික ලෝකයේ ද ප්‍රබල පිරිස් ආවා. ඒ කාටවත් මං කැස්බෑව විකුණන්න කැමැති වුණේ නැහැ.
වරක් කොළඹ ප්‍රදේශයේ උසස් කාන්තාවක් ගැන මා කළ පැමිණිල්ලකට අනුව කලින් හිටපු පොලිස් ස්ථානාධිපති චන්‍ද්‍ර පද්මලාල් මහතා, පොලිස් පරීක්ෂක ජානක සොයිසා මහතා සමග එක්වී පරික්ෂණ සිදු කළා. මගේ කැස්බෑවාගේ බර කිලෝ ග්‍රෑම් 20 යි. වයස අවුරුද 5 යි මාස 8 යි. වලිගයේ සිට හිසට දිග අඟල් 30 යි. ඌ දෙස් විදෙස් බොහෝ දෙනෙකුගේ ආදරයට පාත්‍ර වුණා. 

ගායක අමල් පෙරේරා මීට මාස ගණනකට පෙර 'මට සුදු කැස්බෑවා බලන්න ඕනෑ' කියා අපේ මධ්‍යස්ථානයට ආවා. ඇවිත් රුපියල් කෝටි තුනහමාරකට ඉල්ලුවා. මම දෙන්න බැහැ කිවුවා. ඊට පස්සෙත් කාර්වලින් සිය දෙනෙක් විතර ආවා. 

එක වතාවක් මගේ කැස්බෑව හොරා ගන්න කට්ටියක් ආවා. අපි විදුලිය දමලා තියෙන්නේ. ආපු පිරිස පොලු අරන් පන්නා ගත්තා. චණ්ඩි ඇමැතිගේ ගෝලයෝ කියා ‍ගෙන පැමිණි පිරිසත් පැන්නුවා. 

"කොහොම හරි දැන් තියෙන තත්ත්වය භයානකයි. මගේ කැස්බෑවත් කවුරු හරි අරන් යන්න පුළුවන්. අපිට ආරක්ෂාවක් නැහැ. ගමේ කොල්ලෝ ටික රාත්‍රියට මුර කරනවා. කලින් තර්ජන ආපු වෙලාවේ පොලිසියට පැමිණිලි කළා. ඒ වෙලාවේ පොලිසිය ආවා. දැන් කවුරුත් එන්නේ නැහැ. අතුරුදන් වූ සුදු කැස්බෑවාට වූ දේ මගේ කැස්බෑවාටත් සිදු වේවි කියලා මට විශාල බයක් තියෙනවා" යැයි අමරසේන ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment