තනිවම කල නිහඬ සේවාවන් ප්‍රබලව කරන්නයි මම දේශපාලනයට එන්න හිතුවේ- නදීෂා හේමමාලි

  • මම අනිවාර්යයෙන්ම දිනනවා
  • එක්සත් ජාතික පක්ෂය 2014දී අනිවාර්යයෙන්ම ආණ්ඩුවක් පිහිටවනවා
  • යූ.එන්.පී නැව ගිල්ලන කුමන්ත්‍රණකාරයෝ මුහුදට දාන්න ඕනේ
  • මම නිහඬ සේවයන් ගොඩාක් කරලා තියනවා
මෙවර දකුණු පලාත් සභා මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්වීමට නියමිත නදීෂා හේමමාලිගෙන් ඇතැම් පුවත්පත් විසින් සම්මුඛ සාකච්ජා ලබාගැනීමට ඉල්ලා සිටියත් ඇය දන්වා ඇත්තේ ප්‍රශ්න ටික ඊමේල් කර එවන ලෙසත් ඒවාට පිළිතුරු ඊමේල් මඟින් එවන බවත්ය.

කෙසේ වුවද එක් පුවත්පතක් ඇය සමඟ සම්මුඛ සාකච්ජාවක් පවත්වා තිබෙන අතර තමා විසින් බොහෝ නිහඬ සේවයන් කර තිබෙන බවත්, තනිවම කළ එම නිහඬ සේවාවන් ප්‍රබලව කිරීමට දේශපාලනයට පැමිණි බවයි ඇය හෙළි කර තිබෙන්නේ.


අද බොහෝ අය දේශපාලනයට එන්නට ආණ්ඩු පක්ෂය තෝරාගත්තත් ඔබ විපක්ෂය තෝරාගත්තේ ඇයි?
මේ රටේ ප්‍රශ්න වලට ප්‍රධාන හේතුව වන්නේ පාලන ක්‍රමයේ තියන ප්‍රශ්න. විධායක ජනාධිපති ක්‍රමය හා මනාප ක්‍රමය මූලික කරගන තිබෙන පාලන ක්‍රමය යටතේ ජනතා වගකීම් නැති අය පාර්ලිමේන්තුවට ගිහාම ජනතාවාදී පාලනයක් කිරීම ඉතාම දුෂ්කරයි.

ආණ්ඩුවට පාලන ක්‍රමය වෙනස් කරන්න උවමනාවකුත් නෑ. මේ ආණ්ඩුවේ ඉහල පෙළේ ඉන්න උදවිය පෞද්ගලික මේ ක්‍රමය යටතේ අයුතු ප්‍රතිලාබහ ලබනවා මේ ක්‍රමය වෙනස් කිරීමට හැකියාව ඇති ප්‍රධාන පක්ෂය වන්නේ එක්සත් ජාතික පක්ෂය නිසා මම ප්‍රතිපත්තිමය වශයෙන් එජාපය තෝරාගත්තා

මට ඉතාම පැහැදිලිව පෙනෙන කාරණාව නම් මේ ආණ්ඩුව දවසින් දවස ජනතාවගෙන් ඈත්වෙනවා කියන එක. එක්සත් ජාතික පක්ෂය 2014දී අනිවාර්යයෙන්ම ආණ්ඩුවක් පිහිටවනවා.

එක්සත් ජාතික පක්ෂය බලයට ආවොත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරාවි කියලා හිතනවද?
අනිවාර්යයෙන්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරාවි කියලා මම විශ්වාස කරනවා. එජාපය බලයට ආවම කරන ප්‍රථම දේ තමයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා නව ව්‍යවස්ථාව යටතේ මැතිවරණයකට යෑම.

පවතින රජයේ ඔබ දකින දුර්වලතා මොනාද?
මුලින්ම කියන්න තියෙන්නේ මේ ආණ්ඩුව ප්‍රෝඩාවක්. ඉහල සිට පහලට, වමේ සිට දකුණට මේ ආණ්ඩුව පුරාම තියෙන්නේ රැවටිල්ල. මේ තරම් කොමිස් ගහන රටේ ජාතික ධනය පිට රටට උගස් කරන ආණ්ඩුවක් මෑතකදී පහල වෙලා නෑ. ජනතාවගෙන් 99%ක් බෙහෙත් ගන්න නැතුව, ඇඳුම් ගන්න නැතුව දුක් විඳින කොට 1%ක් කොමිස් ධනයෙන් තෘප්තිමත් වෙනවා. ඒකෙන්ම පෙනෙනවා මේ රටේ ආණ්ඩුව ඉන්නේ මේ රටේ දුක් විඳින ජනතාව එක්ක නෙවෙයි කියලා. ඒ හින්දයි යුද්ධයෙන් පස්සේ මේ රටේ ජනතාවට කිසිම යහපතක් සිදුව්නේ නැත්තේ.

එක්සත් ජාතික පක්ෂය තුළ අද පවතින්නේ අර්බුධකාරී තත්ත්වයක් නේද? නායකත්වය පවා විවේජනයට ලක්වෙනවා.
මම පෞද්ගලිකව දන්න කරුණු කාරනා අනුව මෙය කියන්නම්. නායකත්ව මණ්ඩලය විවේජනය කරන පුද්ගාලයින් කිහිප දෙනෙකුට උවමනා වී තිබෙන්නේ ඊ ලඟට ප්‍රධාන මැතිවරනයේදී යූ.එන් පිය පරදවන්න. එතකොට ඒ අයට "ඕකනේ අපි කිව්වේ රනිල් එක්ක බෑ කියලා" කියන්න පුළුවන්.

ඒ අයට ඕනේ තම පෞද්ගලික න්‍යායපත්‍රය දිනවන්න. ලක්ෂ 35ක් විතර ජන්ද දායකයන්ගේ අහිංසක බලාපොරොත්තු විනාශකරලා දානවා. විජයදාස රාජපක්ෂ මංත්‍රීතුමා කිව්වා වගේ යූ.එන්.පී නැව ගිල්ලන්න හදන අය දිගින් දිගටම එම කාර්යය කරන්න හදනවා නම් කරන්න තියෙන්නේ එම කුමන්ත්‍රණකාරයෝ ටික මුහුදට දාන එක.

ඊ ලඟ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ජය ගනීවි යැයි ඔබ විශ්වාස කරන බව පේනවා
අනිවාර්යයෙන්ම ඔව්. ආණ්ඩුවේ ජනප්‍රියතම තැන තිබුණේ 2009දී යුද්ධයෙන් පසු අවස්ථාව. මොලේ තිබෙන අය ආණ්ඩුවේ නොසිටි නිසා පැහැදිළි වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කළේ නෑ. 2013 අවසන් වන විට සෑම මනුෂ්‍යයෙකුම පිටරටට ලක්ෂ 4 1/2ක ණය කාරයෙකු වී තිබෙනවා.

මිනිසුන් දවසින් දවස ආණ්ඩුවෙන් දුරස් වෙනවා. දැන් ජනතාවට වෙනසක් අවශ්‍යයි. යූ.එන්.පිය ප්‍රධාන විපක්ෂ බලවේගය විදිහට විපක්ෂයේ අනිත් සියළුම පක්ෂ සමඟ පෙරමුණක් ගොඩ නඟාගන යනවා. ආණ්ඩු පක්ෂයේ ඇතැම් මැති ඇමතිවරු පවා විශාල රැල්ලක් ඇතිකරමින් නියම වෙලාවට ජාතික මැතිවරණයකදී මේ පොදු විපක්ෂය සමඟ එකතුවේවි.

ගිනිකන්ද පුපුරන්න ලඟයි. ප්‍රාදේශීය සභා අයවැය ජන්ද වලදී ආණ්ඩුව පරදින එක මේපුපුරන්න තියන ගිනිකන්දේ දුම විතරයි. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට. අපි එය බලාගෙන ඉමු

මේ පලාත් සභා මැතිවරණයේදී ඔබට දිනන්න පුළුවන්ද?
අනිවාර්යයෙන්ම

ගීතා කුමාරසිංහ, අනර්කලී ආකර්ෂා මේ වනවිටත් දකුණේ දේශපාලන ලෝකය තුළ සිටින්නේ ඔබට වඩා ඉදිරියෙන්. එය ඔබට අභියෝගයක් නෙවෙයිද?
මට තියන ලොකුම අභියෝගය මම. මගේ මිතුරත් මම, මගේ සතුරත් මම

ඇයි ඔබ දකුණ තෝරාගත්තේ?
මම දකුණේ. දකුණ මගේ. මම දකුණට දකුණ මට

දේශපාලනයට එන්නට ඔබට තියන එකම සුදුසුකම ඔබ ලැබූ ජනප්‍රියතාවය පමණයි නේද?
නැහැ. මම පුංචි කාලේ ඉඳන්ම මේ සමාජ ආර්ථික ක්‍රමය යටතේ දුක් වින්ද කෙනෙක්. ඊලඟ පරම්පරවට ඒ කරුමය උරුම නොකරන්න උත්සාහ කරනවා කියන අරමුණ මට තියනවා. විඳි දුක්, අසාධාරනකම් මාව දේශපාලනයට යොමුකරන්න හේතුවක් වුණා. රංගන ශිල්පිනියක් වූ පසු මගේ පෞද්ගලික ධනයෙන් ආගමික හා සමාජීය වශයෙන් මා කල බොහෝ දේ තියනවා. ඒවා නිහඬ සේවාවන්.

මොනවද ඒ නිහඬ සේවාවන්?
අනාථ දරුවන්, අසරණ වැඩිහිටියන් වෙනුවන් වාර්ෂිකව මම බොහෝ දේ කරනවා. වෙහෙර විහාරස්ථාන, පුණ්‍යකර්ම වෙනුවෙන් මම බොහෝ දේ කර තිබෙනවා. ඉදිරියේදීත් ඒ වගේමයි.

තනිවම එබඳු සේවාවන් කරනවට වඩා දේශපාලනයට එක්වී වඩාත් ප්‍රබලව ඒ සේවාන් කළ හැකි නිසයි දේශපාලනයට එන්න හිතුවේ

උපේක්ෂා ස්වර්ණමාලි එක්සත් ජාතික පක්ෂය හරහා දේශපාලනයට ඇවිත් පසුව ආණ්ඩුවට එක්වුණා. ඔබත් මතුදාක එවැන්නක් කරයිද?
කවදාවත්ම නෑ. මම ඒක සහතික වෙනවා

දේශපාලනයේදී පුද්ගල ප්‍රතිරූපය වැදගත්. නදීෂා හේමමාලි කියන්නේ නොයෙක් මඩ ප්‍රහාරයන්ට හා කටකතා වලට ලක්වූ කෙනෙක්. ඒවා ඔබේ දේශපාලන ප්‍රතිරූපයට මොන විදිහේ බලපෑමක් කරයිද?
වින්ට්සන් චර්චිල්ගේ ඉංග්‍රීසි කියමනක් තියනවා " සත්‍යය පහළට බහින්න කලිසම අඳිනකොට බොරුව ලෝකය වටේ ගිහින් අවසන්" කියලා. මා ගැන පැතිරුණු බොරුකතා හා මඩ ප්‍රහාර අනිවාර්යයෙන්ම මගේ ප්‍රතිරූපයට හානියක් කරාවි.

අද එම රටේ හොරු ගැන වචනයක් වත් නොදොඩවන මාධ්‍ය තම පැවැත්ම සඳහා වැඩකට නැති ඕපදූප විකුණනවා. ඒ නිසා ම්ම මේ රටේ මාධ්‍ය හසුරවන වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා වගකීමෙන් මාධ්‍ය හසුරවන ලෙසට.

දේශපාලනය කලාව තරම් මටසිළුටු නැහැ. වාද විවාද, බැනගැනීම් වගේම ගුටි හුවමාරුත් ඒ තුල දක්නට ලැබෙනවා. ඔබ මේවට මුහුන දෙන්නේ මොන විදිහටද?
කලාවත් ඔය කියන තරම් මටසිළුටු නැහැ. දේශපාලනයයි මාධ්‍ය කලාවයි වගේම බෙලි කැපිලි, පිටුවසින් ඇවිත් පිහියෙන් ඇනීම්, මඩ ගැසීම් තියනවා. ඒකට හේතුව තමයි මේ හැම ක්ෂේත්‍රයේම ඉන්නේ පෘතග්ජනයන් වීම. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, ද්වේෂය ඔක්කොම වැඩිපුර තියන මිනිස්සු මේ තත්ත්වය තේරුම් අරගන ඉදිරියට යද්දී මෙවැනි අයගේ ප්‍රතිචාර වලින් කම්පා නොවී ඉදිරියට යන්න පුළුවන් බව මා දන්නවා.

පසුගිය කාලයේ කලාකරුවෝ රැසක් දේශපාලනයට එකතුවුණා. නමුත් දේශපාලනය තුල ඔවුන් මහ ලොකු දෙයක් කළ බව නම් පෙනෙන්නට නැහැ. ඔබත් ඒ ගොඩටම වැටෙයිද?
දේශපාලනයට පිවිසෙනවා නම් මුළු කාලයම දේශපාලනය සමඟ සිටිය යුතුයි. මම නම් දේශපාලනයට එන්නේ සෙසු සෑම දෙයකටම, කොටින්ම කියනවා නම් කලාවට පවා දෙවෙනි තැන දීලා දේශපාලනයට මුල් තැන දෙන්න. ඒ නිසා ඔබ ඔය කී ගොඩට මම නම් වැටෙන්නේ නෑ.









-සම්බන්ධිත පුවත්-
නදීෂා හේමමාලි බෙන්තර ඇල්පිටියට?
දිරිය නැගණිය නදීෂා හේමමාලි දේශපාලනයට පැමිණීමට හේතුව
නදීෂා හේමමාලි එක්සත් ජාතික පක්ෂයෙන් දකුණේ ජන්දයට !
නදීෂා නෙවෙයි ජුලියා රොබර්ට්ස් දැම්මත් දිනන්නේ මමයි- ගීතා
මම නයිටිය පිටින් ඇවිත් ජනතාවට සේවය කළේ- ගීතා
දිරිය නැගණිය නදීෂාට වෙබ් අඩවි වලින් මඩ ප්‍රහාර
තනිවම කල නිහඬ සේවාවන් ප්‍රබලව කරන්නයි මම දේශපාලනයට එන්න හිතුවේ

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment