දූෂණ චෝදනා එල්ලකිරීම පිටුපස කෙහෙළිය හා තිලංග සිටින බව මහින්දානන්ද නොකියා කියයි

  • මට කටුනායක ගුවන් තොටුපලේ ව්‍යාපාර දෙකක් තියනවා.
  • මට වාහන බලපත්‍ර 6ක් ලැබුණා. ඒවා ලක්ෂ 600කට විකුණුවා.
  • මට ව්‍යාපාර වලින් කෝටි 2ක වාර්ෂික ආදායම් තියනවා.
  • මගේ වත්කම් මිලියන 800යි.

මහින්දානන්ද අලුත්ගමගේ කෝටිපතියෙකු වුයේ කෙසේද? යනුවෙන් "ලංකා" පුවත්පතින් උපුටාගත් ලිපියක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවෙමු. එයින් කියවුනේ රු.බිලියන ගණනක් දේපල පිළිබඳව හා ඔහු ඒවා ලබාගත්තේ කෙසේද යන්නයි.

මහනුවරින් කෙහෙළිය රඹුක්වැල්ල, එස්.බී දිසානායක, සරත් අමුණුගම ආදී කැබිනට් ඇමතිවරු රොත්තක් සිටියද පූචානම් දොඩවනු විනා ඔවුන්ගෙන් ජනතාවට සේවයක් නොමැති කල්හි මහින්දානන්ද මහනුවරට බොහෝ දේ කර ඇති බව තතු දන්නෝ පවසයි. ක්‍රීඩා ඇමති වුවද මහනුවර දිස්ත්‍රික්කයේ ඔහුගේ ආසනයෙන් පිට පවා පාරවල් රාශියක් සාදා ඇත්තේ ඔහු විසිණි. එබැවින් වැඩි ජන්ද ලැබීමට එයද හේතුවක් වූ බව ඔහු පවසා තිබේ.

රජයේ කැබිනට් ඇමතිවරු කිහිපදෙනෙකු මහනුවර දිස්ත්‍රික්කයේ මනාප වලින් පලමුනැට එන්නට පොරකෑවත් එසේ නොහැකිවූ නිසා ක්‍රීඩා ආමාත්‍යාංශයේ දූෂණ සම්බන්ධව ඉවත්කළ පුද්ගලයන් හා එක්ව මෙම චෝදනා කරන බවයි ඔහු පවසන්නේ. එම ඇමතිවරයා කෙහෙළිය බවත්, ඉවත් කල පුද්ගලයා තිලංග සුමතිපාල බවත් දන්නෝ දනිති.

ලක්බිම පුවත්පතේ හිමිකරු වන තිලංග සුමතිපාල ක‍්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට පොරකෑම මත ඇතිවූ ඇතිවූ හිත් රිදීමක් මත පසුගියදා තම ලක්බිම පුවත්පත මඟින් "වැටුපෙන් ජීවත්වන ඇමැති මහින්දානන්ද කෝටිපතියකු වූයේ කෙසේද?" යනුවෙන් ඔහුට චෝදනා කර පුවතක් පලකරන ලදි. මේ සියල්ලම ඔහුගේ තරහකරුවන්නේ කුමන්ත්‍රණ බවත්, තමාට පරම්පරාවෙන් ඇති දේපල හා ව්‍යාපාර වලින් වාර්ෂිකව කෝටි 2ක ආදායමක් ලැබෙන බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.

ඊයේ ලංකාදීප පුවත්පත හා මහින්දානන්ද පැවැත්වූ එම සාකච්ජාව පහතින්.


ඔබ දැන් තනිකඩයෙක්ද?
තනිකඩයෙක් වෙමින් ඉන්නවා

ඔබ නැවත විවාහ වෙනවද?
දැනට එවැනි අදහසක් නෑ

ඔබේ දරුවන් කොහොමද?
දරුවන් දෙදෙන ඉතාම හොඳින් අධ්‍යාපනය ලබනවා. මගේ පුතා එංගලන්තයේ සවුත්වේල්ස් විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පාඨමාලාවක් හදාරනවා. ඔහු මේ රටේ මාධ්‍යවල පල වන සියළු දේ කියවනවා. ඒ සියළු දේ කියවමින් මටත් අවවාද ලබා දෙනවා.

දියණිය 8 වසරේ ඉගනුම ලබනවා. මේ වාර විභාගයෙන් පන්තියේ වැඩිම ලකුණු ලබාගන තියනවා. මගේ දරුවන් එදා සිටම මේ ප්‍රශ්න හඳුනාගන තියනවා ඔවුන් දන්නවා ඔවුන්ගේ අපච්චී කවුද කියලා.

ඔබ දරුවන්ට බලපෑම් කරනවද?
මමත් බිරිඳත් එක්ක මොන ප්‍රශ්න තිබුනත් දරුවන්ගේ ප්‍රශ්න වලදී අපි එකට ඉන්නවා. එකට තීන්දු ගන්නවා. මමත් එහෙමයි, බිරිඳත් එහෙමයි

ඔබ අනියම් අන්දමින් මුදල් හම්බ කරගන තිබෙන බව අනාවරණය වෙනවා, මේ වත්කම් උපයාගත්තේ කොහොමද?
මහින්දානන්ද අලුත්ගමගේ කියන්නේ දූෂණයට එරෙහිව කතා කරපු කෙනෙක්. මහින්දානන්ද හොරෙක් නෙවෙයි කියලා පාර්ලිමේතුවේදී එක්සත් ජාතික පක්ෂය පවා කියලා තියනවා. මහින්දානන්දට ගහන්නේ ඇයි?

ඔබ අති විශාල වත්කමකට හිමිකරුවෙක්. බොහොම දේශපාලඥයෝ ඇමතිවරු වුනම කෝටිපතියෝ වෙනවා. ඔබත් එහෙමද?

ඔබ මගේ පවුල් පසුබිම දන්නේ නෑ. මගේ මව ගුරුවරියක්. මවගේ පියා, ඒ කියන්නේ මගේ සීයා කොත්මලේ රොජසන්ගම කේ.පී මානිස් මුදලාලි. ඒ කාලේ රොජසන්ගම හිටි ලොකුම ලක්ෂපතියා මගේ සීයා. 1965දිත් මගේ මාමා ඉගනගත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයේ. මගේ අම්මට කොත්මලේ රොජසන්ගම එනසාල් වතු අක්කර සිය ගණනක් අයිතිව තිබුණා,

මගේ අප්පච්චී දේශපාලනයට එන්නට කලින් 1970දී තේ කර්මාන්තශාලා දෙකක හිමිකරුවෙක්. ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්. උලපනේ තේ කර්මාන්තශාලාව හිමිව තිබුණේ මගේ අප්පච්චිට, අපි පරම්පරාගත සල්ලිකාරයෝ. අපිව අධ්‍යාපනය ලබාදෙන්නත් කොළඹට එව්වා. මම රාජකීය විද්‍යාලයට එව්වා. අක්කල ස්ටැෆඩ් ලේඩීස්, මහාමායා විද්‍යාලවල ඉගනගත්තා. අපිට ආර්ථික ප්‍රශ්න තිබුනේ නෑ. මහින්දානන්ද ඇමතිකමට ආවට පස්සේ කෝටිපතියෙක් වුණා කීම සම්පූර්නයෙන්ම වැරදියි. මගේ පවුල් පසුබිම ඒකයි.

ඇමතිකමෙන් පස්සෙත් ඔබ වත්කම් ලබාගත්තා.

මගේ අප්පච්චී වතුපිටි බලාගත්තා. ඉන්පසු ෆිනෑන්ස් සමාගමේ රැකියවකට ගියා. වසර 10ක් රැකියාව කලා. මම විධායක නිලධාරියෙක් වශයෙන් හිටියේ. ඒ කාලේ මගේ ව්‍යාපාර දෙකක් තිබුණ. එකක් කෑගල්ලේ ජයබිම ලෑන්ඩ් සේල් හා මහනුවර ඒඇන්ඩ් ආර් ලෑන්ඩ් සේල්ස්. මේවා ලියාපදිංචි සමාගම්. 1993දී දේශපාලනයට ඒමට පෙර මගේ පියාගෙන් ලැබුණු දේපල වලට අමතරව මේ ආයතන මට හිමිව තිබුණා. දේශපාලනයට ආවම මංත්‍රී වැටුපෙන් ජීවත් වෙන්න බෑ. කවුරු හරි පුළුවන් කියනවා නම් ඒක අමූලික බොරුවක්. පුළුවන් කියනවා නම් මොනවා හරි දූෂණ වංචා කරන්න ඕනේ. මම දේශපාලනයට ආවට පසුවත් ව්‍යාපාර ආරම්භ කළා.

මොනවද ඒ?

කටුනායක ගුවන් තොටුපලේ ව්‍යාපාර දෙකක් මට තියනවා. පුවත්පත් දැන්වීම් දාලා ඉල්ලුම් කරලා මේ ව්‍යාපාර 2004 සිට ආරම්භ කළා. මේවායින් මට ඉතා හොඳ ආදායමක් ඒනවා. මා බිරිය නමින් මේ ව්‍යාපාර ගෙන ගියා. එතුමිය ඒ.ඒ.ඩබ්ලිව් පෙරේරා. බලන්න මේ ලිපිගොණු (ව්‍යාපාර සම්බන්ධ ලිපියක් හා ආදයම් බදු ලිපියක් පෙන්වයි )

ඔබ දේශපාලඥයෙක් නිසා ආදායම් බදු ගෙවීම් වලින් නිදහස් වෙලා ඉන්නවා ඇති.

නෑ. මම හරියට වෙලාවට ආදායම් බදු ගෙවනවා. වසරකට ලක්ෂ 5ක් ගෙවනවා. මට වඩා කෝටිපතියෝ වත් මේ තරම් ගෙවන්නේ නෑ. මම ටීවී එකේ කෑ ගහන නිසා හරිම පරෙස්සම්. කාටවත් වචනයක් කියන්න ඉඩ තියලා නෑ.

ඔබ පාර්ලිමේන්තුවට වත්කම් බැරකම් ප්‍රකාශ දීලා තියනවද?

ඔව්. දීලා තියනවා. මා සතු සියළු දේපල සඳහන් කරලා තියනවා. මහනුවර ජෝජ් ඊ ද සිල්වා මාවතේ නිවස, නාවල වෙත්තසිංහ මාවතේ නිවස ඇතුළු සියළු දේ සඳහන් කර තියනවා.

මේවා ඔබ ඇමති වූවාට පසු ලබාගත් දේවල්. එහෙම කිව්වොත් හරිද?

මම මේ ව්‍යාපාර වලින් බොහොම හම්බකරගත්ත ඒවා. මට වාහන බලපත්‍ර 6ක් ලැබිලා තියනවා මම ඒවා ලක්ෂ 600කට විකුනලා තියනවා. මිලියන 60ක්. මට ව්‍යාපාර වලින් ලක්ෂ 200ක විතර වර්ෂයකට ආදායම් තියනවා. ඒ ආදායම් වල බදු මම ගෙවලා තියනවා. බිලියන ගානක දේපොල මට නෑ.

මගේ වත්කම් වල වටිනාකම මිලියන 800යි. ගෙවල් දෙකක් හදලා තියනවා. නුවර ගෙදර හැදුවේ දේශපාලනයට එන්නත් කලින්. දේශපාලනයෙන් පසු මම හදපු එහෙම ගේ කොළඹ ගෙදර. කොළඹ මට තව ඉඩමක් තියනවා. මේකට තමයි මේ මඩ ගහන්නේ. අවුරුදු 20ක් ඉඳල මිනිහෙකුට ගෙයක් හදන්න බැරිද? ඒ නිවස හැදුවෙත් හැටන් නැෂනල් බැංකුවෙන් ලක්ෂ 75ක ණයකුත් අරගන. පාර්ලිමේන්තු බැංකුවෙන් ලක්ෂ 100ක ණයකුත් ගත්තා.

ඔබට මේ තරම් දේපොල තියනවා නම් ණය ගත්තේ මොකටද?

මේ සිද්ධියත් එක්ක මට කිසිම දෙයක් තිබුනේ නෑ. මගේ බිරියගේ නමින් වත්කම් තිබුණේ. මම එළියට යනකොට මට කිසිම දෙයක් තිබිනේ නෑ. ඒ නිසා පාර්ලිමේන්තු බැංකුවෙන් ණයක් අරගන මේ ගේ ගත්තේ. මට ඉන්න තැනක් තිබුණේ නෑ. මේව මේ මට මඩ ගහන්න අල්ලස් හා දූෂණ කොමිසමට පැමිණිළි කරලා තියනවා. නිර්නාමික ලිපියක් ඒ ලිපිය යවපු අයම මාධ්‍යයට කියලා තියනවා. ඒ නිර්නාමික ලිපියට මහින්දානන්ද අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමට කැඳෙව්වා. මේ රජය කොයිතරම් ප්‍රජාතන්ත්‍රවාදීද, රාජ්‍ය නායකයා හා පක්ෂය රකින මිනිස්සු මහින්දානන්ද වගේ මිනිස්සුත් අල්ලස් හා දූෂණ කොමිසමට ගේනවා කියන්නේ මේ රජය කොයි තරම් ප්‍රජාතන්ත්‍රවාදීද?

ඔබ පුන පුනා කියනෙන ඔබ නිවැරදී කියලද?

ඔව්. මේ තියෙන්නේ, මේක මම හොරු දූෂිතයෝ සුද්ධ කරන්න ගිහිල්ලා ඒ සඳහා ක්‍රියා කළ එකේ ප්‍රතිපලය. මා කිසිම ප්‍රශ්නයක් නෑ. මගේ දෑත් පිරිසිදුයි. ඔය කියන බිලියන ගනන් මගේ වත්කම් නෑ. මගේ අයියා ජපානයේ ප්‍රබල ව්‍යාපාරිකයෙක්. ඔහු වසර 30ක් ජපානයේ කෝටිපතියෙක්. රෙස්ටූරන්ට් හා මැණික් කෞතුකාගාරයක් ඔහුට තියනවා. ලංකාවට 400 වරක් ඇවිත් තියනවා. නවතින්නේ හිල්ටන් එකේ, ගලදාරී එකේ. මගේ දේශපාලන කටයුතු වලදී 90%ක් වියදම් කරනෙන මගේ අයියා. අපි අයථා ක්‍රම වලින් මුදල් හොයලා නෑ. ප්‍රාදේශීය සභාවක දේශපාලඥයෙකුට වගේ චෝදනා කරන එක වැරදියි. අසාධාරන විදිහට මුදල් එකතුකරලත් නෑ, හම්බ කරලත් නෑ.

ඔබ ක්‍රීඩා ඇමති වුනාට පස්සේ බොහොම බලවත් අය හතුරෝ කරගත්තා.

මේ ක්‍රීඩා අමාත්‍යාංශය හොර ගුහාවක් වී තිබුනා. කෝටි ගණන් හොරකම් කරපු හොර ගුහාවක්. මම ආපු ගමන් මේ හොරු ටික ශුද්ධ කලා. දූෂිතයන්, හොරුන් අයින් කලා. පාපන්දු සම්මේලනයේ අවුරුදු 10ක් ඇති ගනුදෙනු වලට සම්බන්ධ පුද්ගලයෙක් අයින් කළා. ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තනතුරට ඉල්ලූ පුද්ගලයෙක් අයින් කළා.

ඔබ පෞද්ගලික අමනාපයට පලිගැනීමක් කලාද?

කොහෙත්ම නෑ. පනත බලන්න. මම කටයුතු කරලා තියෙනෙන පනතට අනුව ක්‍රීඩා පනත අභිබවලා මට ක්‍රියාකරන්න බෑ. එසේ කිරීමට මට බලයක් නෑ. ඔලිම්පික් කමිටුවේ විගණනයක් කරන්න ගිහිල්ලා පුද්ගලයෙක් මා සමඟ ගැටුමක් ඇතිවෙලා තියනවා. අද මේ තුන් දෙනා අපේ දිස්ත්‍රික්කයේ දේශපාලඥයෙක් හා එක්ව සම්බන්ධ වී මට බරපතල ලෙස ලෙස මට මඩ ගහනවා.

මහින්දානන්ද අලුත්ගමගේ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලඥයින් අභිබවා අංක එකට ඇවිත් සිටිනවා. තවත් දෙයක්, ඇමති මහින්දානන්ද අලුත්ගමගේට මිනිස්සු ජන්දය දීපු කරුණු 4ක් තිබුනා.
1. වැඩකරන ඇමතිවරයෙක්.
2. ඕනෑම වෙලාවක හම්බ වෙන්න පුළුවන් ඇමතිවරයෙක්.
3. ජනාධිපතිතුමාගේ ආශිර්වාදය තියන ඇමතිවරයෙක්.
4. අවංක මිනිහෙක්. මේ කරුණු හතර නිසා මහින්දානන්ද අලුත්ගමගේ මහනුවරින් අංක එකට ගෙනවා.

දැන් ජන්දය ඉල්ලලා මහනුවරින් එකට එන්න බැරි නිසා අලුත්ගමගේ හොරෙක්, ජනාධිපතිවරයාගේ ආශිර්වාදය නෑ කියලා මහනුවර දිස්ත්‍රික්කයේ මතයක් ගොඩ නැඟීමට මේ පිටුපස සිට කටයුතු කරනවා. මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව මහින්දානන්දව දන්නවා මගේ මිනිස්සු නාවලපිටියේ, මහින්දානන්ද හොරෙක්ද කියල නාවලපිටියෙන් අහන්න.

නාවලපිටියේ මිනිස්සුන්ට ඔබ උදව් කරලා ඇති

දශක දෙකක දේශපාලන කාලය තුළ මම රජයේ රැකියා 3,000ක් දීලා තියනවා. එක රැකියාවක් දෙන්න එක සතයක් මම අරගන තියනවද කියලා අහන්න. එක සතයක් අරගන නෑ. නගරයේ කඩ 150ක් මගේ හිතවතුන්ට මම හදලා දීලා තියනවා. මහින්දානන්ද එක කඩයක් අරගන නෑ. වානිජ වටිනාකම ඇති ඉඩම් 3,000ක් බෙදලා දීලා තියනවා. එක ඉඩමක් මහින්දානන්ද අරගත්තෙ නෑ.

මහින්දානන්ද ඕවා නොගත්තට ඔබේ නමින් ඥාතීන්ට දීලා ඇති.

නැහැ. මම අරගන නැහැ. මගේ සහෝදරයෝ අරගන නැහැ. නාවලපිටියේ ජනතාවගෙන් 20%ක් 30%ක් මගේ ඥාතීන් ඉන්නේ. නාවලපිටිය මගේ ගම. මේ මඩ ප්‍රහාර මහින්දානන්ද වට්ටන්න කරන ඒවා බව මහනුවර දිස්ත්‍රික්කයේ ජනතව දන්නවා. මඩ ගහන්න ගහන්න මාව වට්ටන්න බෑ. මගේ ජනතාව මට ඉන්න ලොකුම හයිය. ලොකුම ශක්තිය. මට මඩ ගහන්න ගහන්න මහනුවර දිස්ත්‍රීකයේ ජනතාව මා වටා රොක් වෙනවා.

ඔබ පාර්ලිමේන්තුව හෙල්ලූ කෙනෙක්. විපක්ෂයට කට අරින්න දුනේන් නෑ. බොහොම තදින් කෑ ගැහුවා. දැන් බොහෝම නිහඬයි. මොකද ඒ?

නෑ මම නිහඬ නෑ. මම හැමදාම අවශ්‍ය වෙලාවට කෑගැහුවා. මේක සංක්‍රාන්ති සමයක්. රජයට ප්‍රශ්න නෑ. දැන් රජය ශක්තිමත්. රජය වෙනුවෙන් කඩේ යන්න අවශ්‍ය නෑ. නැවත මැතිවරණයක් ආවම බලන්න මම වැඩට බහිනවා. සරත්ෆොන්සේකා හොරෙක් කියලා 2010 පලමු ප්‍රවෘත්ති සාකච්ජාවේදී අනාවරාණය කළේ මම. එක ඇමති කෙනෙක් කට ඇරියේ නෑ බය වුණා. මේ දවස් වල රූපවාහිනී සංවාද වලට යන්න අවශ්‍යය නෑ. අවශ්‍ය වෙලාවට යනවා.

පසුගිය සති කිපය ඔබට අර්බුධකාරී වුනා. ජනාධිපතිවායා දැක්වූ ප්‍රතිචාර කුමක්ද?
එතුමා මේ සිද්ධිය දැනගත්ත හැටියේ මට දුරකථනයෙන් කතා කළා. එතුමා බලාවත් සේ කනගාටු වුණා. රජයේම මංත්‍රීවරු කරන මේ වැඩ ගැන එතුමා දන්නවා. මට කිව්වේ එතුමා ආදර්ශයට ගන්න කියලයි. දේශපාලනයේ හැටි ඔහොම තමයි. අවංකව වැඩ කරන නිසා එතුමා මා සමඟ ඉන්න බවට මට සහතිකය දුන්නා.

අල්ලස් හෝ දූෂන කොමිසමෙන් ඔබව කැඳවීමක් කලාද?
ඔව් පැය 9ක් ප්‍රශ්න කලා.

ඔබට චෝදනා එල්ල කලාද?
මා වැරදිකාරයෙක් වෙලා නෑ. මා ගැන නිර්නාමික ලිපියක් ගිහිල්ලා තියනවා. මගේ වත්කම් එහි සඳහන් කර තිබෙනවා. ඒ ගැන ප්‍රශ්න කලා. මගේ වත්කම් මම පෙනුවා. ඔවුන් ඒ ගැන සොයා බලාවි. මම වැරදි නම් නඩු දමාවි. නිවැරදි නම් නිදහස් කරාවි.

ඔබ රජයේ කටකාර ඇමතිවරයෙක්. දැන් කොහොමද මුහුණ දෙන්නේ?
එදා වගේමයි. මම වරදක් කරලා නෑ.

විපක්ෂය ඔබට චෝදනා කළොත්
මට චෝදනා කරන්න හේතුවක් නෑ. මම විමර්ශනයට ලක්වූ පුද්ගලයෙක් පමණයි. මගේ වත්කම් ගැන සොයා බලනවා. කොමිසම මාව නිවැරදි පුද්ගලයෙක් කරන්න ඕනෑ.

-සම්බන්ධිත පුවත්-
මහින්දානන්ද අලුත්ගමගේ කෝටිපතියෙකු වුයේ කෙසේද?
අල්ලස් හෝ දූෂණ සම්බන්ධයෙන් විමර්ශනය
මහින්දානන්ද ගේ බිරිඳ පොලිස් ආරක්ෂාව පතයි

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment