කැසිනෝ මේක බිලියන 400ක අති දැවැන්ත ව්‍යාපෘතියක් - සරත් අමුණුගම

2010 දී අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත පාර්ලිමේන්තුවට ගෙන ආ අවස්ථාවේදී ඊට පක්ෂව ජන්දය දුන් ආණ්ඩුවේ ඇතැමුන්, ඊට සංශෝධන ගෙන එනවිට එරෙහි වන්නේ ඇයි දැයි වයඹ මහ ඇමති දයාසිරි ජයසේකර මහතා ජනාධිපතිවරයා ගෙන් විමසා තිබේ. 

"මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ පනත මීට ඉස්සෙල්ලා ගෙනාවහම ඒකට ආණ්ඩුවේ හැමෝම අත ඉස්සුවා. කවුරුවත් ඒකට විරුද්ධ වුණේ නැහැ. දැන් මේ සංශෝධන ගේන එකට විරුද්ධ වෙන්නෙ ඇයි කියන එකත් මට ප්‍රශ්නයක්" යයි ඔහු එසේ ජනාධිපතිවරයා ගෙන් විමසා සිටියේ, පසුගිය දා පැවති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදීය. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර, එහිද ප්‍රධාන මාතෘකාවක් බවට පත්වුයේ කැසිනෝ අර්බුදයයි. සාකච්ඡාව ආරම්භයේදී ලබන 15 වැනිදා ආරම්භ කිරීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ සංවිධායක කටයුතු පිළිබඳ දීර්ඝ විස්තරයක් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.
ඉන් පසුව ඇදී ආවේ කැසිනෝ පිළිබඳ මාතෘකාවය. එහිදී ජනාධිපතිවරයා පැහැදිලිවම පිරිසට කියා සිටියේ තැන්තැන්වල විසිරී තිබුණු කැසිනෝ ශාලා එක් ස්ථානයකට ගොනු කොට ඊට සීමාමායිම් පැනවූවා විනා ඒවා අලුතින් බිහි කිරීමක් සිදු නොකළ බවය.

"දැන් මම දැකලා තියෙනවා කොල්ලුපිටියේ වාලුකාරාමය ඉස්සරහත් කැසිනෝ එකක් දාලා තිබ්බා. මහානාම ඉස්කෝලෙ ගාවත් කැසිනෝ තියෙනවා. ඒ විදියට බලද්දි කොළඹ කැසිනෝ ගහන තැන් 15ක් විතර තියෙනවා. මම බැලුවෙ මේවා ඔක්කොම එක තැනකට ගෙනැල්ලා වෙනම තැනක් හදන්න" යනුවෙන් ජනාධිපතිවරයා පැවසිය.

අනතුරුව කතාව ආරම්භ කළේ ඇමැති සරත් අමුණුගම මහතය. අමුණුගමත් පෙන්වා දුන්නේ යම් හෙයකින් මෙම ආයෝජනය ලංකාවට නොලැබී ගියහොත් ඉන් ආර්ථික වශයෙන් රටට විශාල පාඩුවක් සිදුවනු ඇතැයි කියාය. "මේක පොඩි පහේ ව්‍යාපෘතියක් නෙවෙයි. රුපියල් බිලියන 400ක අති දැවැන්ත ව්‍යාපෘතියක්. 

මේ ආයෝජනය ආවොත් අපිට ආර්ථික අතින් ලොකු පිම්මක් පනින්න පුළුවන්. ඩොලර් එක ස්ථාවර කරගෙන රට ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. හැබැයි මේ විදියට කෑගහල කෑගහල අපි මේ ආයෝජනය නැතිකර ගත්තොත් ආර්ථික අතින් ඉස්සරහට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා මම කියන්නෙ මොන ප්‍රශ්න ආවත් මේක ඉස්සරහට අරගෙන යන්න ඕන කියලයි" යැයි අමුණුගම කියද්දී ඔහුගේ කතාවට තල්ලුවක් දෙමින් ඊළඟට අදහස් දැක්වූයේ අනුර ප්‍රියදර්ශන යාපාය. 

ඔහු අදහස් දැක්වූයේ ඉතිහාසයෙන් උදාහරණයක්ද ගෙනහැර දක්වමින්ය. "දැන් බලන්න ඉස්සර සුද්‍ෙදා නුවර පාර හදද්දි අපේ මිනිස්සු ඒකට කොච්චර බැන්නද? නුවර පාර හැදුවොත් රට විනාශ වෙනව කිව්ව. පරිසරය විනාශ වෙනවා කිව්වා. නමුත් පාර හැදුවට පස්සෙ ඒ විරුද්ධ වෙච්ච අයම නුවර පාරෙ ෂෝක් එකට ගියා. 

මේ කැසිනෝ එකට විරුද්ධ වෙන එකත් ඒ වගේ තමයි. අන්තිමට විරුද්ධ වෙන කට්ටියම ගිහිල්ලා කැසිනෝ ගහයි. ඒ නිසා මම නම් කියන්නේ ජනාධිපතිතුමනි කවුරු විරුද්ධ වුණත් අපි ඒවා ගණන් ගන්නේ නැතිව අනිවාර්යයෙන් මේ ව්‍යාපෘතිය ඉස්සරහට අරන් යන්න ඕන කියලයි" යනුවෙන් අනුර යාපා කියද්දී ජනාධිපතිවරයා හිස වනමින් එය පිළිගත්තා විනා ඊට වැඩියමක් එකතු කරන්නට ගියේ නැත.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment