සූදු පනත තාවකාලිකව අත්හිටුවයි

ඕස්ටේ‍්‍රලියානු කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් විසින් මෙරට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති ව්‍යාපාරය සඳහා බදු සහන ලබාදීම වෙනුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජනා වී තිබූ ක්‍රමෝපාය සංවර්ධන පනත් කෙටුම්පත් දෙක තාවකාලිකව නතර කිරීමට රජය තීරණය කර ඇත. 

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවැති ආණ්ඩු පක්‍ෂයේ පක්‍ෂ නායක හමුවේදී පක්ෂ කිහිපයකින් එල්ල වූ දැඩි විරෝධය සලකා මෙම තීරණය ගෙන ඇති අතර ඒ අනුව අදාළ පනත් කෙටුම්පත් විවාදයට නොගැනීමටත් ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති ගැසට් නිවේදනය ද ඉවත් කරගැනීමටත් යෝජනා වී තිබේ. 

මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරියේ දී නව යෝජනාවක් ඉදිරිපත් කිරීමට එකඟතාව පළවී තිබේ. නව සංශෝධන අනුව වයස අවුරුදු 18න් පහළ කිසිවකුටත් කැසිනෝ ශාලාවන්ට ඇතුළු විය නොහැක. 

එසේම ස්වදේශිකයන් කිසිවකුටද කැසිනෝ ශාලාවලට ඇතුළුවීම තහනම් කිරීමටද තීරණය කර තිබේ. තවද ශාලාවට ඇතුළුවීමේදී විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කළයුතු බවටත් ඇතුළත් වීමේ ගාස්තුව ඩොලර් 500ක් ලෙසත් සංශෝධනය කිරීමට නියමිතය.

Post a Comment