කැටපත් පවුරේ ලියා සිරදඬුවම් ලැබූ මඩකළපුවේ තරුණියට ජනපති සමාව!


සීගිරිය කැටපත් පවුරේ කුරුටු ගී වලට හානි කළ බවට වැරදිකරු වී දෙවසරක සිරදඬුවමක් නියම වූ මඩකළපුවේ 27 හැවිරිදි තරුණියට ජනපති සමාව ලබාදී තිබේ.


මඩකළපුව ප‍්‍රදේශයේ පදිංචි සින්නතම්බි උදය ශ්‍රී නැමැති තරුණිය පසුගිය පෙබරවාරි 14දා ඇය සේවය කරන ඇඟළුම් කම්හලේ සාමාජිකයින් සමග විනෝද චාරිකාවක් සඳහා සීගිරියට පැමිණි අවස්ථාවේදී සීගිරි කැටපත් පවුරට හානි කළ බවට චෝදනා මත අත්අඩංගුවට ගැනිණ.


ඒ අනූව ඇය දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වසර දෙකක සිරදඬුවමක් ද නියම විය.

කෙසේ වෙතත් ඇයට ලබාදුන් දඬුවම ගැන යළි සලකා බලන ලෙස ඇයගේ මව විසින් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් ද කර තිබුණි.


ඒ අනූව ඇයට ජනපති සමාව හිමිව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


සීගිරිය කැටපත් පවුර නැරඹීමට පැමිණෙන පුද්ගලයන්ට එය විකෘති නොකරන ලෙස සිංහල, දෙමළ සහ ඉංගී‍්‍රසි භාෂා ති‍්‍රත්වයෙන්ම දැනුවත් කරමින් පුවරු ප‍්‍රදර්ශනය කර තිබේ.


පසුගිය 2014 වසරේ නොවැම්බර් මාසයේදීද මඩකළපුව ප‍්‍රදේශයේ පාසලක උසස් පෙළ හදාරන සිසුවියක් හැට්ට කටුවකින් කැටපත් පවුරේ කුරුටු ගී මත සිය නම ලිවීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කර තිබුණි.



Post a Comment