කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් අභියාචනාධිකරණයෙන් නීතිපතිට නොතීසි


කොළඹ නගර වරාය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ පැහැදිලි කරන මෙන් අභියාචනාධිකරණය රජයට නියෝග කර තිබේ.


අදාළ ව්‍යාපෘතිය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය ඉදිරිපත් කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේ අභියාචනාධිකරණය මෙම නියෝගය ලබාදුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.


අභියාචනාධිකරණයේ සභාපති විජිත් මලල්ගොඩ මහතා සහ එච්.සී.ජේ මඩවල මහත්මියගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳවූ අතර පරිසර යුක්ති කේන්ද්‍රය අධිකරණය හමුවේ කියා සිටියේ වරාය නගර ව්‍යාපෘතිය ඉදිකිරිමේ කටයුතුවල දී අවශ්‍ය පාරිසරික නීති පිළිපැද නොමැති බවයි.


එහිදී අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල කියා සිටියේ අදාළ ව්‍යපෘතිය තාවකාලිකව නතර කර ඇති බවට මේ වන විට ප්‍රකාශ වී ඇති බවය.


එම නිසා අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රජය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ගය පැහැදිලි කරගැනීම අවශ්‍ය බව අභියාචනාධිකරණය ප්‍රකාශ කර ඇත.


ඒ අනුව අප්‍රේල් මස 29 වැනිදා අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ පැහැදිලි කරන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් නීතිපතිවරයාට නොතීසි නිකුත් කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.



Post a Comment