අපි දෙන්නා විතරයි කතා කරපුවා දන්නේ


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයින්ට තමන් සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කියයි.


ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (17) නාරාහේන්පිට අබයාරාමයේදී පැවැති වැඩසටහනක් අතරතුර මාධ්‍යවේදීන්ට පිළිතුරු දෙමිනි.


පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහය‍ පළ කළ පළාත් පාලන නියෝජිතයින්ට ස්තූතිය පළ කිරීම සඳහා මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර කළුතර දිස්ත්‍රීක්කයේ දේශපාලන නි‍යෝජිතයින්ට ස්තූතිය පළ කිරීමේ වැඩසටහන අද පෙරවරුවේ පැවැත්විණ.


මේවන විට ගම්පහ දිස්ත්‍රීක්කයේ නියෝජිතයින්ට ස්තූති කිරීමේ වැඩසටහනක් පැවැත්වෙමින් ඇති අතර සවස 5ට කොළඹ දිස්ත්‍රීක්කයේ නියෝජිතයින්ට එම අවස්ථාව ලබාදී තිබේ.


මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ තමන්ට යළි ක්‍රියාකාරී දේශපාලනයට පැමිණෙන ලෙසට ඕනැවටත් වඩා ආරාධනා ලැබෙමින් ඇති බවයි.


කෙසේ වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයින්ට තමන් සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරන බවද ඒ මහතා පැවසීය.


මේ අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි පසුගියදා හමුවීමෙන් පසු රෝ සංවිධානයේ මෙරට නි‍යෝජිතයා ඉවත් කිරීම ගැන සාකච්ඡා කළේදැයි මාධ්‍යවේදියෙකු ඇසූ පැනයකට පිළිතුරු ලෙස මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ “අපි දෙන්නා විතරයි කතා කරපුවා දන්නේ” යනුවෙනි.



Post a Comment