අක්‍රමිකතා සියල්ල එකවර විසඳන්න මට බෑ


පසුගිය කාලය පුරා අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුව ඇති අක්‍රමිකතාවන් සියල්ල එකවර විසඳීමට තමාට හැකියාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.


ඒ පිළිබඳ සොයාබලා, කරුණු අධ්‍යයනය කිරීමට යම් කිසි කාලයක් අවශ්‍ය වන බව අමාත්‍යවරයා පෙන්වාදෙයි.


රජයේ ප්‍රමුඛතා කළමනාකරණ සහ සංවර්ධන කාර්යයන් සඳහා බදවාගත් උපාධිධාරී ගුරුවරුන්ගේ අහිමි කළ සේවා කාලය ගුරු සේවයට එක් කර දෙන ලෙස ඉල්ලා ලංකා ගුරු සේවා සංගමය අද අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වනු ලැබු අතර ඔවුන් සමග පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.


මෙම ගැටලු දෙස දේශපාලන මුහුණුවරකින් බලා කටයුතු නොකරන ලෙස එහිදී ගුරු සේවා සංගමයෙන් ඉල්ලීමක් කළ අමාත්‍යවරයා දේශපාලන අරමුණු ඉටු කරගැනීම වෙනුවෙන් හදිසියේ ගන්නා තීරණ හේතුවෙන් තවත් පාර්ශවයකට දැඩි බලපෑම් ඇතිවිය හැකි බව ද පෙන්වා දී තිබේ.



Post a Comment