තලවකැලේ උද්ඝෝෂකයින්ට කඳුළු ගෑස් ප්‍රහාරයක්

තලවකැලේ ප්‍රදේශයේ පැවැත්වෙන උද්ඝෝෂණය විසිරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

උද්ඝෝෂකයින් විසින් ද පොලිසියට ගල් ප්‍රහාර එල්ලකළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.


ඉහළ කොත්මලේ ජලාශයට පැන තරුණයකු අතුරුදන්වීමේ සිද්ධියට අදාළව පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් තලවකැලේ ප්‍රදේශයේදී දුම්රිය මාර්ගය හරස් කරමින් මෙලෙස උද්ඝෝෂණයේ නිරත වෙමින් සිටියි.


මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.


මත්ද්‍රව්‍ය ළඟ තබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් තලවකැලේ පොලීසියේ නිලධාරීන් පිරිසක් ප්‍රදේශයේ තරුණයෙකු ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබූ අතර අදාළ තරුණයා පොලීසියෙන් මිදී පළාගොස් ඉහළ කොත්මලේ ජලාශයට පැන තිබුණි.


කෙසේ වෙතත් පොලිස් නිලධාරීන්ගේ අදූරදර්ශි ක්‍රියා කලාපය හේතුවෙන් මෙම තරුණයා පළාගිය බවට ප්‍රදේශවාසීන් චෝදනා කරයි.



Post a Comment