පොලීසිය නිසි ලෙස වැඩ නෑ - මැ.කොත් ක්‍රියාත්මක නෑ

මෙවර ජනාධිපතිවරණයට අදාළව පූර්ව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ පැමිණිලි 420 ක් වාර්තාවී ඇති බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.

එයින් පැමිණිලි 237 ක් ඉතා බරපතළ සිදුවීම් බවත්, පැමිණිලි 183ක් සුළු සිද්ධීන් බවත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක ඩී.එම් දිසානායක මහතා පවසයි.


ඉකුත් වසරවලට වඩා වාර්තාවන ප්‍රචණ්ඩ ක්‍රියා අඩු වුවද එකී අවස්ථාවන් වලට වඩා බරපතළ සිදුවීම් වැඩි බව හෙතෙම කියා සිටියේ අද (06) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.


පොලීසිය නිසි පරිදි රාජකාරි කටයුතු සිදු නොකිරීම නිසා තත්ත්වය වඩා වර්ධනය වී ඇති බවත්, රාජ්‍ය දේපළ පරිහරණය කිරීම මෙම මැතිවරණයේ ඉහළ ප්‍රවණතාවක් දැකිය හැකි බවත් ඔහු පෙන්වාදුන්නේය.


මෙවර තැපැල් ඡන්දය පැවැත්වීම මීට පෙරාතුව අවස්ථාවන් මෙන් නොව අදියර කිහිපයකින් ක්‍රියාත්මක වූ බවත්, එය ගැටළු සහගත බවත් දිසානායක මහතා සඳහන් කළේය.


උතුරේ සමහර පෙදෙස්වල ඡන්දපොළ ස්ථානාධිපතිවරුන්ට ලැබුණු ලේඛණ හා සහකාර මැතිවරණ ලේකම් කාර්යාල මගින් නිකුත් කරන ලද ලේඛනවල සංඛ්‍යාත්මක වශයෙන් වෙනස්කම් තිබුණු බවද ඔහු කියා සිටියේය.


විශේෂයෙන්ම උතුරේ සිවිල් ආරක්ෂක ගොවිපළේ තැපැල් ඡන්දය භාවිතා කිරීම බොහෝ අවිධිමත් හා අසම්පූර්ණ ලෙස සිදුව ඇති බවට තොරතුරු ලැබී ඇති බව හෙතෙම අවධාරණය කළේය.


මෙම ගැටළු සහගත තත්ත්වයන් පිළිබඳ මැතිවරණ කොමසාරිස්වරයා දැනුවත් කර ඇතත් කොමසාරිස්වරයාද ඒ පිළිබඳ නිසි පරිදි ක්‍රියා නොකරන බව දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



Post a Comment