අපේක්ෂාව ශීලාචාර ආණ්ඩුවක් - පනත් සම්මතයට සහයදෙන්න

නව රජයේ දින 100 වැඩසටහන යටතේ විධායක ජනපති ක්‍රමය වෙනුවට කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුව හා සම්බන්ධ විධායකයක් සහිත ආණ්ඩු ක්‍රමයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

පාර්ලිමේන්තුවේදී අද ඔහු විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර, ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කෙරෙන 19 වැනි සංශෝධනය සම්මත කර ගත යුතු බවයි.


තවද ජාතික ඖෂධ ප්‍රතිපත්ති පනත් කෙටුම් පත, ජාතික විගණන හා තොරතුරු දැනගැනීමේ පනත් පාර්ලිමේන්තුවේදී සම්මත කරගත යුතු බව ද ඒ මහතා පැවසීය.


එ‍ෙස්ම පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කාරක සභා පිහිටුවීමට ක්‍රියා කරන බවද, නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය නියෝජනය නොකරන මන්ත්‍රීවරුන් සහ සෑම පක්ෂයක්ම නියෝජනය වන පරිදි ඊට සභාපතිවරුන් පත් කළ යුතු බවද, ඔහු කියා සිටියේය.


තම ආණ්ඩුව රාජ්‍ය පාලනයේදී අනුගමනය කරන්නට බලාපොරොත්තු වන්නේ ලිච්ඡවී සම්ප්‍රදාය බවද අගමැතිවරයා පැවසීය.


ඒ අනූව නව දේශපාලන සංස්කෘතියක් බිහි කිරීමට, ශීලාචාර ආණ්ඩුවක් නිර්මාණය කිරීමටත්, පවුල්වාදය වෙනුවට ජන සම්මතවාදය ස්ථාපිත කිරීමටත්, දූෂණයෙන් වංචාවෙන් තොර යහ පාලනයක් ඇති කිරීමටත්, ප්‍රජාතන්ත්‍රවාදය හා ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කිරීමටත් කටයුතු කරන බවද අගමැතිවරයා අද පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් කියා සිටියේය.



Post a Comment