නව කැබිනට්ටුව අද - ජවිපෙටත් ආරාධනා කරනවා

අභිනව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නව කැබිනට් මණ්ඩලය අද නම් කිරීමට නියමිතව තිබේ.

දින සියයේ වැඩපිළිවෙළට අනුව කැබිනට් මණ්ඩලය අද දිවුරුම්දීමට නියමිතය.


තිස් දෙනෙකුට නොවැඩි කැබිනට් මණ්ඩලයක් බොහෝ දුරට පත්වනු ඇති බව වාර්තා වේ.


ජනතා විමුක්ති පෙරමුණට ද කැබිනට් අමාත්‍ය ධුර සඳහා ආරාධනා කරන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කළේය.


විධායක ජනාධිපති ධුරයේ බලතල අහෝසි කරමින් නව ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ඇතුළු යහපත් වෙනස්කම් සිදුකිරීම සඳහා සියලු දේශපාලන පක්ෂවල සහය අපේක්ෂා කරන බව උන්වහන්සේ පැවසීය.


උන්වහන්සේ පෙන්වා දෙන්නේ එම ක්‍රියාවලිය කඩාකප්පල් කිරීම සඳහා කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව තීන්දුවක් ගැනීමට ද පසුබට නොවන බවයි.


ඊයේ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව කියා සිටියේය.


තමන් දන්නා වංචා පිළිබඳ තොරතුරු ලිඛිතව ඉදිරිපත් කරන ලෙස ද පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.


මින් ඉදිරියට රටේ සංවර්ධන උපාය මාර්ග තේරීම සඳහා දේශපාලනඥයින් නොවන ලෝක මට්ටමේ බුද්ධිමතුන්ගෙන් සමන්විත ජාතික ප්‍රතිපත්ති සභාවක් ස්ථාපිත කරන බව ද පූජ්‍ය අතුරලියේ රතන හිමියන් එහිදී පැවසුවේය.


මැතිවරණය ඉලක්ක කරගනිමින් අමාත්‍යාංශ වල මුදල් යොදාගෙන විවිධ භාණ්ඩ බෙදාහැරී මැති ඇමතිවරුන් පිළිබඳව ද විශේෂ විමර්ශනයක් ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා එහිදී කියා සිටියේය.



Post a Comment