අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය.
මුසම්මිල් මහතා එම අවස්ථාවේදී පහත පරිදි අදහස් දැක්විය.
‘‘යහපාලනය මුවාවෙන් වත්මන් ආණ්ඩුව අද මාධ්‍ය සංදර්ශනයක් අරඹා තිබෙනවා. ගාලූ වරායේ නැංගුරම් දමා තිබූ මහනුවර නෞකාවේ තිබී ආයුධ ගණනාවක් සොයා ගනු ලැබුවා. ඒකට කීවේ පාවෙන අවි ගබඩාවක් සොයා ගත්තා කියලයි.
මේ නෞකාව තුළ අවි ගබඩාවක් පවත්වා ගෙන ගොස් තිබුණේ කැබිනට් අනුමැතිය සහිතවයි. ආරක්‍ෂක අමාත්‍යාංශයේ අනුදැනුම ඇතිව අවශ්‍ය ක‍්‍රියා පටිපාටිවලට අනුකූලවයි මෙම නෞකාව ස්ථානගත කර තිබුණේ. මෙවැන්නක් ස්ථානගත කර තිබුණේ ජාත්‍යන්තර ප‍්‍රජාවගේ උවමනාව මත. සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ප‍්‍රහාරයට ලක්වන නෞකාවන්ට අවශ්‍ය ආරක්‍ෂාව ලබා දීම මෙහි ප‍්‍රමුඛතම අරමුණ වූවා. ආරක්‍ෂාව පැත්තෙන් වගේම රටට ආදායම් මාර්ගයක් ලැබීම පැත්තෙන්ද මෙ නෞකාව වැදගත් වූවා.
එසේ තිබියදී වත්මන් ආණ්ඩුව කළේ කුමක්ද? එදා මිලේනියම් සිටි පාවා දීම සිදු කළ අන්දමටම මාධ්‍යවේදීන් රැගෙන ගිහිල්ලා මෙතැන රාජපක්‍ෂ රෙජිමයේ ඒකාධිපති සැලැස්මක් තිබෙනවා කියලා පෙන්වන්න උත්සාහ කළා. එය ඉතාමත් නින්දිත පිළිකුල් සහගත උත්සාහයක්. දැන් මේ නෞකාව ස්ථානගත කර තිබූ ස්ථානය අනාරක්‍ෂිත වී තිබෙනවා. දැන් සෝමාලියානු කොල්ලකරුවන්, ජාත්‍යන්තර පාතාල කල්ලි මේ පිළිබඳව දන්නවා.
දැන් මේ මුහුදු කලාපයේ නෞකාවලට ආරක්‍ෂාව ලබා දුන් පිරිස් අනාවරණය වී තිබෙනවා. ඔවුන්ගේ ජීවිත අනාරක්‍ෂිත වී තිබෙනවා. ඒ නිසා ජාතික ආරක්‍ෂාව සමග සෙල්ලම් කරන්න එපා කියලා අපි වත්මන් පාලකයන්ට කියනවා.
අනෙක් කරුණ තමයි මුදල් අමාත්‍යවරයා විසින් සිදු කළ සාවද්‍ය ප‍්‍රකාශය. රවී කරුණානායක මහතා පවසා තිබුණා, කැබිනට් අනුමැතිය යටතේ ලංකා බැංකුවේ තැප්‍රොබේන් ශාඛාවේ පවත්වාගෙන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ගිණුම හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ පෞද්ගලික ගිණුමක් බව. මේක විකාර කතාවක්නෙ. එහෙම නම් ජනාධිපති අරමුදල හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ ගිණුමක් විය යුතුයි. මෙවැනි බොලඳ කතා කියන මුදල් අමාත්‍යවරයකුටද යහපාලනයක් ගෙන ඒමට බාර දී තිබෙන්නේ.
එදා ආණඩුව තුළ ඉඳගෙන රටම ගඳ ගැස්සූ මර්වින් සිල්වා තුරුලට අරගෙන, පාලිත තෙවරප්පෙරුමලාට අද මර්වින් සිල්වාගේ වැඩේ බාර දී තිබෙනවා. මේ ආණ්ඩුව ජයන්ත සමරවීර මහතා පෙන්වා දුන් ආකාරයටම ජාතික ආරක්‍ෂාව අනතුරේ හෙළා ඊළමට පාර කපමින් උතුරු - නැගෙනහිර කොටි පාලනයකට අත වනමින් සිටිනවා. අනෙක් පැත්තෙන් යහපාලනය මාධ්‍ය සංදර්ශනයකට පමණක් සීමා කරලා තිබෙනවා.“

Post a Comment