තැපැල් ඡන්දය අදයි

2015 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද සහ හෙට පැවැත්වෙයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි පොලිස් ස්ථාන හැර සෙසු සියලුම පොලිස් ස්ථානවල සහ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල තැපැල් ඡන්දය සලකුණු කිරීම ලබන 26 වන දින සිදුකරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේය.


අද සහ හෙට තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද දායකයින්ට ලබන 30 වන දින අදාළ සහතික කිරීමේ නිලධාරීන්ගේ කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ දී තැපැල් ඡන්දය සලකුණු කළ හැකියි.


ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විටත් සැලසුම් කර ඇති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.


තැපැල් ඡන්ද සලකුණු කිරීමේ මධ්‍යස්ථාන සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව පොලිස් මූලස්ථානය පවසයි.


තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා නිරීක්ෂකයින් දහසක් පමණ යෙදවීමට බලාපොරොත්තු වන බව පැෆ්රල් සංවිධානය පවසයි.


එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ ජංගම නිරීක්ෂණ රථ 35ක් ද යෙදවීමට සැලසුම් කර ඇති බවයි.



Post a Comment