වැස්සෙන් ලක්ෂ 5ට පීඩා - මරණ 3ක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ලක්ෂ පහකට අධික පිරිසක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ මේ හේතුවෙන් පුද්ගල මරණ තුනක්ද මේ වන විට වාර්තා වන බවයි.


මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලාශවල ජල මට්ටම සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.


වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් භද්‍රා කමලදාස මහත්මිය සඳහන් කළේ බොහෝ ජලාශ වාන්දමමින් පවතින බවයි.


මේ අතර මින්නේරිය ජලාශයේ වැව් බැම්මේ ඇති වු ජල කාන්දුව මේ වන විට තාවකාලිකව පාලනය කර ඇති බවද ඇය කියා සිටියාය.


එසේම පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් ද නිකුත් කර තිබේ.


ඊයේ රාත්‍රී හතේ සිට ඉදිරි පැය 24 දක්වා කාලය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මෙම නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.


බදුල්ල, මාතලේ, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික් සඳහා මෙම නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත.


මේ අතර ගල් පෙරළීම් හේතුවෙන් මහනුවර - මහියංගනය “ඒ 26“ මාර්ගයේ වාහන ගමනා ගමනයට බාධා එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


උඩුදුම්බර, කහටගොල්ල ප්‍රදේශයේ දී විශාල ගලක් මාර්ගයට පෙරළීයාමෙන් මාර්ගය අවහිර වී ඇති බව සඳහන්ය.


මාර්ගය පිළිසකර කිරීමේ කටයුතු තවදුරටත් සිදුකරමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.



Post a Comment