වෛද්‍යවරුන්ට 15,000යි - විශේෂඥ වෛද්‍යවරුන්ට 35,000යි - අපටත් ඕනෑ - නැතිනම් 2දා සිට වර්ජනයේ

වෛද්‍යවරුන්ට දුන් රුපියල් 25,000 දීමනාව ජනවාරීයේ සිට රුපියල් 40,000 දක්වාද, විශේෂඥ වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 25,000ක දීමනාව ජනවාරීයේ සිට රුපියල් 60,000 දක්වාද වැඩි කර ඇති බැවින් තමන්ට ද ඒ හා අනූරුපී දීමනාවක් ලබානොදුනහොත් නව වසරේ ජනවාරී 02දා සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

වෛද්‍යවරුන්ගේ දීමනාව එකවරම රුපියල් 15,000කින් හා ‍විශේෂඥ වෛද්‍යවරුන්ගේ දීමනාව රුපියල් 35,000කින් එකවරම වැඩි කිරීම හෙද නිලධාරීන්ට කළ අසාධාරණයක් යැයිද ඒ අනූව තමන්ට ද සාධාරණයක් විය යුතු බව එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා කියයි.


ඒ අනූව රුපියල් 15,000ක දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අද පෙරවරු‍ෙව් 8 සිට පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළ අතර සිය වර්ජන ක්‍රියාදාමය ගැන කොළඹදී අද (30) මාධ්‍ය හමුවක් පවත්වමින් රත්නප්‍රිය මහතා අදහස් පළ කළේය.


එහිදී ඔහු කියා සිටියේ සොයිසා, ළමා රෝහල, කාසල් විදීයේ කාන්තා රෝහල හා පිළිකා රෝහල හැරුණු විට දිවයිනේ රෝහල් 650ක හෙද සේවකයින් 26,500කගේ සහභාගිත්වයෙන් වර්ජනය සාර්ථකව ක්‍රියාත්මක වන බවයි.


පැමිණ සිටීම, නිදි බාධක සහ ප්‍රවාහන යන අංශ තුනට අදාළව දැනට වෛද්‍යවරයෙකුට ලබාදෙන රුපියල් 40,000ක දීමනාව හා විශේෂඥ වෛද්‍යවරුන්ට ලබාදෙන රුපියල් 60,000ක දීමනාවට අනූරූපිව තමන්ටද සැලකිය යුතු දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටින බව සමන් රත්නප්‍රිය මහතා එහිදී පැවසීය.


මේ ගැන අද පස්වරු 3ට සෞඛ්‍ය ලේකම්වරයා සමග සාකච්ඡාවක් ලබාදී ඇති බවත්, සාකච්ඡා අසාර්ථක වුවහොත් අද ආරම්භ කළ වර්ජනය හෙට පෙරවරු 8න් අවසන් කර ලබන 2 වැනිදා සිට අඛණ්ඩ වර්ජනයක නිරත වන බව ඒ මහතා කියා සිටියේය.



Post a Comment