පසුගිය දින කීපය තුළ ඇද හැළෙන ධාරාණිපාත වර්ෂාව ඊයේ (21)සවස වන විට අඩුවී තිබුණද නරිඔය පිටාර ගැලීම හේතුවෙන් අවතැන්වූ පිරිස් වෙනුවෙන් නවගත්තේගම ප්‍රදේශයේ අවතැන් කදවුරු 10 ක් ස්ථාපනය කර ඇත.
මී ඔය පිටාර ගැලීම හේතුවෙන් අවතැන් වූවන් වෙනුවෙන් කරුවලගස්වැව ප්‍රදේශයේ අවතැන් කඳවුරු 04 ක්ද,කලාඔයේ ජල මට්ටම ඉහළයාම හේතුවෙන් පීඩාවට පත්ව ඇති පිරිස් වෙනුවෙන් වනාතවිල්ලුවේ කදවුරු 01 ක්ද පිහිටුවා ඇති බව අද දෙරණ වාර්තාකරු කියා සිටියි.
පොත්තුවිල්ලුව වැව පිටාර ගැලීම සහ වැසි ජලය බැස නොයම හේතුවෙන් අවතැන්වී කඳවුරු 05 ක සිටි මුන්දලම ප්‍රදේශයේ ජනතාව 21 වැනිදා සවස වන විට තම නිවෙස් කරා ගොස් ඇත.
ඊයේ රාත්‍රීය වන විට තබ්බෝව ජලාශයේ වාන් දොරටු 20 ක් අඩි 02 බැගින් විවෘත කර තිබුණු අතර ඉඟිනිමිටිය ජලාශයේ වාන් දොරටු 06 ක් විවෘත කර ඇත.
ඒ වාන් දොරටු 02 ක් අඩි 03 බැගින්,වාන් දොරටු 02 ක් අඩි 02 බැගින් සහ වාන් දොරටු 02 ක් අඩි 01 බැගින් වන ආකාරයට බැව් සඳහන්ය.
මේ අතර රාජාංගනය ජලාශයේ වාන් දොරටු 18 ක් අඩි 08 බැගින් විවෘත කර ඇති අතර දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 03 ක් අඩි 03 බැගින් විවෘත කිරීමට වාරි මාර්ග නිලධාරීන් විසින් කටයුතු කර ඇත.
කලාඔය පිටාර ගැලීම හේතුවෙන් 21 වැනිදා දහවල් වන විට ඉවත් කර ඇති එළුවන්කුලම නාවුක හමුදා කදවුර මෙතෙක් ස්ථාපනය කර නැති අතර පුත්තලම - මන්නාරම මාර්ගය තවදුරටත් ගමනා ගමනයට වසා දමා ඇති බව අප වාර්තාකරු කියා සිටියි.
අවතැන් වී දැනට කඳවුරු වල වාසය කරන පිරිස් වෙත අවශ්‍ය සුභ සාධන කටයුතු ඒ ඒ ප්‍රදේශ වල ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් සිදු කරන බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි.

Post a Comment