ශ්‍රී ලංකාවේ ළමුන්ට අධ්‍යාපන අයිතිය අහිමිවෙලා - යුනිසෙෆ් කියයි

ශ්‍රී ලංකාවේ වෙසෙන බොහෝ දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව අහිමි වී ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසයි.

දරුවන් ප්‍රාථමික අධ්‍යාපනය හැදැරීම සඳහා යොමුවීමේ ඉහළ ප්‍රවණතාවක් පෙන්නුම් කළ ද නොවැදගත් ලෙස සලකන දරුවන් කොට්ඨාසයකට අධ්‍යාපනය හැදෑරිමේ අවස්ථාව අහිමි වී ඇති බව එම සංවිධානය පෙන්වාදෙයි.


ඉන් වැඩිම පිරිසක් අඩු ආදායම් ලාභී පවුල්වල ජීවත්වන දරුවන් බව යුනිසෙෆ් සංවිධානය පවසයි.


ශ්‍රී ලංකාවේ ජීවත්වන දරුවන්ට අධ්‍යාපනය අහිමි වීමට ඔවුන් සතුව පවතින ආදායම, ප්‍රවාහන පහසුකම්, ස්වාභාවික විපත් ආදිය හේතුවී ඇති බවද එම සංවිධානය පෙන්වාදෙයි.


මේ අතර කිසිදු රටක පුරවැසිභාවය නොමැති පුද්ගලයින් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අනුගමනය කර ඇති ක්‍රියාමාර්ගය සාර්ථක වී ඇති බව එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය පවසයි.


ශ්‍රී ලංකාවේ ජීවත්වන සියලු පුද්ගලයින්ට පුරවැසිභාවය ලබාදීම සඳහා රජය නිවැරදි ක්‍රියාපිළිවෙතක් අනුගමනය කර ඇති බව එම කාර්යාලය කියයි.


1986 වසරේ සිට සිදුකළ ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ හරහා ඉන්දීය සම්භවය සහිත දමිළ ජනතාව ශ්‍රී ලංකාවේ පුරවැසියන් බවට පත් කිරීමට කටයුතු කර ඇති ආකාරය සාර්ථක බව එම කාර්යාලය පෙන්වා දී තිබේ.


1800 වසරේ දී මෙරටට ගෙන්වු ඉන්දීය දමිළ ජාතිකයින් තේ වතු ආශ්‍රිත කටයුතු සඳහා යෙදවීමට සහ 1930 වසරේ දී මෙරටට ගෙන්වු චීන ජාතිකයින් කුඩා කණ්ඩායම් ලෙස පදිංචි කරවීමෙන් පසු පුරවැසිභාවය ලබා දීමට පියවර ගෙන ඇතැයි පැවසේ.


ඉදිරි දස වසර ඇතුළත ලොව සෑම පුද්ගලයෙකුටම පුරවැසිභාවය ලබාදීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරනු ලැබ තිබේ.


අධ්‍යාපනය, සෞඛ්‍ය මෙන්ම දේශපාලන අයිතිවාසිකම් පවා අහිමි වී ඇති එම පුද්ගලයින් වෙනුවෙන් සියලු රටවල සහයෝගයෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිත බව එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.


මේ වන විට ලොව පුරා මිලියන ගණනක පිරිසක් පුරවැසිභාවය අහිමි වූවන් බවට පත්ව ඇති බවද සඳහන්ය.



Post a Comment