නව ගුරු හා විදුහල්පති සේවා ව්‍යවස්ථාව ගැන ජෝසප් මෙසේ කියයි

නව ගුරු සහ විදුහල්පති සේවා ව්‍යවස්ථා අතුරු වැටුප් යෝජනා සමග කි‍්‍රයාත්මක කළ යුතු බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

ගුරුවරුන්ගේ ඉල්ලීම් දිනාගැනීම උදෙසා ලබන 06 වැනිදාට යෙදෙන ලෝක ගුරු දිනය නිමිත්තෙන් යාපනයේදී විරෝධතාවයක් පැවැත්වීමටත් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටත් සුදානම් බව හෙතෙම කියයි.


මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව පෙන්වාදෙන අතර එම නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය.


1994 සිට ශී‍්‍ර ලංකා ගුරු සේවා ව්‍යවස්ථාව කි‍්‍රයාත්මක කරන ලදී. එම සේවා ව්‍යවස්ථාවට අනුව ලබාදී ඇති වැටුප 1997 බී.සී. පෙරේරා වැටුප් කොමිසම මඟින් අවප‍්‍රමාණය කරන ලදී. අනතුරුව ගුරු සංගම් දිගින් දිගටම බී.සී. පෙරේරා වැටුප් කොමිසමේ තීරණය අනුව නිකුත් කළ 2/97 චක‍්‍රලේඛයේ “ගුරු-විදුහල්පති වැටුප පසුව සලකා බලනු ලැබේ”’ යන සඳහන කි‍්‍රයාත්මක කරන ලෙස බල කළ ද එය සිදු නොවුණි. අනතුරුව ලයනල් ප‍්‍රනාන්දු මහතාගේ සම සභාපතිත්වයෙන් ඇති කරන ලද වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසමෙන් නිකුත් කළ 6/2006 චක‍්‍රලේඛයෙන් ද තවදුරටත් ගුරු-විදුහල්පති සේවාවන් බාල්දු කරන ලද අතර, ගුරු සංගම් ඊට එරෙහිව ගෙන ගිය අරගලයේ ප‍්‍රතිඵලයක් ලෙස ගුරු වැටුප් වැඩිවීමක් 2008.07.01 සිට කි‍්‍රයාත්මක කරන ලෙස අධිකරණය පවා නියෝග කළේය. එසේම ගුරු වැටුප් වැඩි කිරීම වෙනුවෙන් අතුරු වැටුප් යෝජනාවක් අඩංගු කැබිනට් පති‍්‍රකාවක් ද 2008.12.02 ඉදිරිපත් කොට තිබුණි. නමුත් කිසිවක් කි‍්‍රයාත්මක නොකරන තත්ත්වයක් තුළ ගුරු-විදුහල්පති වෘත්තීය සමිති දිගින් දිගටම මේ සම්බන්ධයෙන් විවිධ වෘත්තීය කි‍්‍රයාමාර්ගවල නිරත විය.


පසුව නව ගුරු සේවා ව්‍යවස්ථා සංග‍්‍රහය, සාමාන්‍ය අධ්‍යාපන ගුණාත්මක හා ඵලදායීතාව නංවාලීම උදෙසා යෝජනා ලබා ගැනීම පිණිස ජ්‍යෙෂ්ඨ අමාත්‍ය කාර්යාලයේ ලේකම් හා ප‍්‍රධාන නිලධාරී මහින්ද මඩිහේවාගේ මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කරන ලද අතර, එම කමිටුව විසින් නව ගුරු සේවා ව්‍යවස්ථාව ඇතුළත් වාර්තාව 2014.07.07 දින ජනාධිපතිතුමා වෙත පිළිගන්වන ලද අතර, එය රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත 2014.07.09 දින අනුමැතිය සඳහා ඉදිරිපත් කළ බව ලංකා ගුරු සංගමයට වෙත අධ්‍යාපන ලේකම් ලිඛිතව දැනුම් දී ඇත. නමුත් එම සේවා ව්‍යවස්ථාවට අප ඉදිරිපත් කළ යෝජනා ඇතුළත් කළ බවක් හෝ එහි පිටපතක් හෝ මේ දක්වා ගුරු සංගම් වෙත ලබාදී නැත.


නව ගුරු සේවා ව්‍යවස්ථාව සමග යෝජනා වී පැවතියේ 2008 වැටුප් කොමිසම ඉදිරිපත් කරන ලද වැටුපකි. එය ගුරු සංගම් විසින් ප‍්‍රතික්ෂේප කරන ලද වැටුපක් වන අතර මහින්ද මඩිහේවා කමිටුවේදී ද ගුරු සංගම් විසින් එම වැටුප ප‍්‍රතික්ෂේප කරන ලදී. එසේම එහි උසස්වීම් කි‍්‍රයාවලියට අදාළව ගුරුවරුන්ට ලබාදෙන අවකාශය පිළිබඳ පැහැදිලිතාවක් නොතිබිණි. එසේම 224,000 ක් වූ ගුරුවරුන්ගේ උසස්වීම් වසර 4 කට ආසන්න කාලයක් ලබාදී නැත. විදුහල්පති සේවයේ උසස්වීම් 2008.07.01 සිට වසර 8 කට ආසන්න කාලයක් ලබාදී නැත. මෙම උසස්වීම් සම්බන්ධයෙන් ද පැහැදිළිතාවක් අධ්‍යාපන අමාත්‍යාංශය ප‍්‍රකාශයට පත් කළ යුතුය.


2014.09.23 වෙනි දින ගුරු-විදුහල්පති වෘත්තීය සමිති එකතුව කැඳවන ලද නියෝජිත සම්මේලනයේදී තීරණය කරන ලද්දේ නව ගුරු හා විදුහල්පති සේවා ව්‍යවස්ථා හා අධ්‍යාපන පද්ධතියේ පවතින ගැටළු සම්බන්ධයෙන් විධිමත් විසඳුමක් ලෝක ගුරු දිනයට පෙර ලබා නොදුන්නහොත් දැඩි වෘත්තීය කි‍්‍රයාමාර්ගයක් ගන්නා බවයි. ඒ අනුව අපගේ ඉල්ලීම් ලබා ගැනීම වෙනුවෙන් ගුරු දිනය යෙදෙන 2014 ඔක්තෝම්බර් 6 යාපනයේ උද්ඝෝෂණයක් පැවැත්වෙන අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ ප‍්‍රතිචාරය මත ඉදිරි කි‍්‍රයාමාර්ග තීරණය කරනු ලැබේ.


ජෝසප් ස්ටාලින්


ප‍්‍රධාන ලේකම්



Post a Comment