2015 අයවැයෙන් සහන කාටද? - සම්පූර්ණ යෝජනාවන්ගෙන් සාරාංශයක්

2015 මුදල් වර්ෂය සඳහා වන අයවැය මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද(24)පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

එය සන්ධාන ආණ්ඩුවේ 10 ව අයවැය වන අතර එය ලංකා ඉතිහාසයේ 69 වන අයවැයයි.


2015 මුදල් වර්ෂය සඳහා වු විසර්ජන පනත් කෙටුම්පත පසුගිය සැප්තැම්බර් මස 26 වන දා අග්‍රාමාත්‍ය දී.මු. ජයරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අතර මෙවර අයවැයෙන් වැඩි මුදල් ප්‍රමාණයක් වෙන්කර ඇත්තේ රාජ්‍ය ආරක්ෂක හා නාගරින සංවර්ධන අමාත්‍යංශයටය.


එම අමාත්‍යංශය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 285කි.


මහාමාර්ග වරාය හා නාවික කටයුතු අමාත්‍යංශයට මෙවර අයවැයෙන් රුපියල් බිලියන 200 ක මුදලක් වෙන් කර ඇති අතර රුපියල් බිලියන 139 ක මුදලක් වෙන් කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශයටය.


රුපියල් බිලියන 113 ක මුදලක් ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට වෙන්කර ඇති අතර රුපියල් බිලියන 47 ක මුදලක් අධ්‍යාපන අමාත්‍යංශයට වෙන්කර තිබේ.


කෙසේ වෙතත් මෙවර අයවැයෙන් විශේෂයෙන් අවධානයට ලක්විය යුතු කරුණු පහත පරිදි පෙළගැස්විය හැකිය.


2015 වන විට අමෙරිකන් ඩොලර් 4000ක් වන ඒක පුද්ගල ආදායම වසර 2020දී ඩොලර් 7500 දක්වා වැඩි කරමින් ඉහළමැදි ආදායම් ලබන රටක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම තම අපේක්ෂාව බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියයි. එසේම කැසිනෝ ශාලා සඳහා ඇතුළුවීමේදී ඩොලර් 100ක බද්දක් අය කිරීමටත්, වාහන සඳහා විශේෂ බද්දක් හඳුන්වාදීමටත් ජනපති යෝජනා කරයි.


නිවාසවල ජල පරිභෝජනයෙන් මුල් ජල ඒකක 25 සඳහා අය කරන මුදල සියයට 10න් අඩු කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබේ.


දේශීය ගොවියා ආරක්ෂා කරනු වස් වී කිලෝවක සහතික මිල රුපියල් 34 සිට 40 දක්වා වැඩි කිරීමටද අස්වනු නෙළන කාලයේදී අල, ලුණු හා මිරිස් සඳහා සහතික මිලක් ලබාදීමටද ජනපති යෝජනා කරයි.


රුපියල් 350 පොහොර සහනාධාරය තවදුරටත් ලබාදීමටත් අපේක්ෂිතය.


දේශීය දියර කිරි ලීටරයක සහතික මිල රුපියල් 60 දක්වා වැඩිකර දේශීය කිරිපිටි කිලෝවක මිල රුපියල් 100න් අඩු කිරීමටත්, දේශීය යෝගට් මිල රුපියල් 3න් අඩු කිරීමටත් අයවැයෙන් යෝජනා කෙරිණි.


පෙර පාසල් ගුරුවරුන් රුපියල් 2500ක දීමනාවක්ද ආයුර්වේද වෛද්‍යවරුන්ට රුපියල් 5000 ක දීමනාවක්ද දීමට යෝජනා කර ඇත.


එසේම ශිෂ්‍යත්ව සමතුන් සඳහා මසකට ලබාදෙන රුපියල් 500 ක ශිෂ්‍යාධාරය රුපියල් 1500 දක්වා වැඩි කිරීමට ද ඒ අනූව එය වසරකට රුපියල් 15,000 සිට 25,000 දක්වා වැඩි කිරීමට අපේක්ෂිතය.


තවද සරසවි සිසුන්ට හා උසස් අධ්‍යාපන ආයතන සිසුන්ට ලබාදෙන මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 2500 සිට 4000 දක්වා වැඩි කිරීමට 2015 අයවැයෙන් යෝජනා කර තිබේ.


මෙරට සෑම පුරවැසියෙකුම වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීම සඳහා ජංගම වෛද්‍ය සායන ක්‍රමයක් ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහා රුපියල් මිලියන 500ක් 2015 අය වැයෙන් වෙන් කිරීමට යෝජනා කරන ලදී.


එසේම වැඩිහිටියන්ට ගෙවනු ලබන දීමනාව රුපියල් 1000 සිට රුපියල් 2000 දක්වා වැඩි කිරීමට 2015 අය වැයෙන් යෝජනා කෙරුණු අතර ත්‍රස්තවාදයට එරෙහිව සටන් වැදීමට දූ පුතුන් බාරදුන් මව්පියන් වෙනුවෙන් දැනට ලබාදෙන රුපියල් 750 දීමනාව රුපියල් 1000 දක්වා වැඩි කිරීමට ද එම දීමනාව පොලීසියේ හා සිවිල් ආරක්ෂක සේවයේ අයටද ලබන වසරේ සිට ලබාදීමට අපේක්ෂිතය.


රාජ්‍ය‍ සේවකයින්ගේ අවම මාසික වැටුප රුපියල් 15,000 දක්වා වැඩි කිරීමටත් දැනට ලබාදෙන දීමනා සියල්ල වත්මන් මූලික වැටුපට එක් කිරීමටත් ,ජීවන වියදම් දීමනාව ද රුපියල් 2200න් වැඩි කර එම දීමනාව රුපියල් 10,000 දක්වා වැඩි කිරීමට ද යෝජනා කර තිබේ.


ඒ අනූව සියලු දීමනාද ඇතුළුව රාජ්‍ය ‍සේවකයින්ගේ අවම මාසික ආදායම රුපියල් 25,000 දක්වා වැඩි වන බව සඳහන්ය.


එසේම සියලූම විශ්‍රාමිකයින්ගේ වැටුප් 2015 විශ්‍රාම වැටුප් ක්‍රමයට අනූව ව්‍යුහගත කිරීමටද අයවැයෙන් යෝජනා කර තිබේ.


පෞද්ගලික අංශ සේවකයින්ගේ අවම වැටුප රුපියල් 10,000 දක්වා වැඩි කිරීමටත් ඔවුන්ගේ සේවක සේවක අර්ථසාධක අරමුදල සඳහා සේවා යෝජකයා විසින් ගෙවනු ලබන සියයට 12ක අරමුදල සියයට 14 දක්වා වැඩි කිරීමටද මෙවර අයවැයෙන් අපේක්ෂිතය.



Post a Comment