අතුරුදහන්වුණු තරුණයාගේ මළ සිරුර දින 25 ට පසු හමුවෙලා

දින 25 ට පෙර තම නිවසින් අතුරුදහන්වූ බව කියන තරුණයෙකුගේ මළ සිරුරක් මාදම්පේ - පනිරෙන්දාව වනාන්තරයේ තිබී හමුවී ඇති බව මාදම්පේ පොලීසිය කියයි.

හමුවී ඇත්තේ මාදම්පේ - පූක්කුලම පදිංචිව සිටි සී.පී.චතුර විදුරංග සිරිවර්ධන (අවු:25) නම්වූ තරුණයෙකුගේ මළ සිරුර බව පොලීසිය කියයි.


සිවිල් ඉංජිනේරු පාඨමාලාවක්ද හදාරා ඇති ඔහු පුද්ගලික ආයතනයක සේවය කරමින් සිට ඇත.


තම දරුවා නිවසින් අතුරුදහන්වී ඇති බව පසුගිය 31 වැනිදා මිය ගොස් ඇති අයගේ මව්පියන් විසින් මාදම්පේ පොලීසියට පැමිණිලි කරමින් පවසා ඇති අතර ඉන් පසුව ඔහු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් දැන ගන්නට ලැබී නැත.


පසුගිය 25 වැනිදා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවකයින් පිරිසකට මාදම්පේ - පනිරෙන්දාව වනාන්තරය තුළ තිබී හිමිකරුවෙකු නොමැති බෑගයක් හමුවී ඇත.


ඒ සම්බන්ධයෙන් සොයා බලන විට ජාතික හැඳුනුම්පතක් හමුවී ඇති අතර මේ සම්බන්ධයෙන් මාදම්පේ පොලීසියට දැන්වීමට එම නිලධාරීන් කටයුතු කර ඇත.


එහිදී අනාවරණය වී ඇත්තේ හමුවී තිබෙන්නේ දින 25 කට පෙර අතුරුදහන්වූ බව කියන තරුණයාට අයත් හැඳුනුම්පත බවය.


ඒ අනුව පනිරෙන්දාව රක්ෂිත වනාන්තරය තුළ සිදු කරන ලද සොයා බැලීමකදී ගසක එල්ලෙමින් තිබූ මිය ගොස් ඇති තරුණයාගේ මළ සිරුර හමුවී ඇති අතර ඒ අසළ තිබූ ඇඳුම් වලින් මිය ගොස් ඇත්තේ තම දරුවා බව අතුරුදහන්වී සිටි බව කියන තරුණයාගේ මව්පියන් විසින් හඳුනා ගෙන ඇත.


නමුත් මෙම මරණය සම්බන්ධයෙන් සැකයක් පවතින බව මාදම්පේ පොලීසිය කියයි.


තරුණයා ගෙල වැලලා ගත්තේ නම් මළ සිරුර තිබුය යුතු ආකාරය සහ මළ සිරුර එල්ලී ඇති ගසේ තත්ත්වය අනුව මෙම සැකය මතුවී ඇත.


ඒ අනුව මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට මාදම්පේ පොලීසිය තීරණය කර ඇති බවත් ,මේ වන විට මළ සිරුර තිබෙන මාදම්පේ - පනිරෙන්දාව වනාන්තරයට පොලිස් ආරක්ෂාව යොදවා ඇති බවත් අද දෙරණ වාර්තාකරු පවසයි.


හලාවත සහකාර පොලිස් අධිකාරී සනත් වික්‍රමසූරිය මහතාගේ උපදෙස් පරිදි මාදම්පේ පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කුළතුංග මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.



Post a Comment