එක්‌දරු මව දස හැවිරිදි දියණිය සමග ළිඳට පැන දිවි නසා ගනී

අනුරාධපුර, ශ්‍රාවස්‌තිපුර, ශාන්ති වී මෝල පාරේ පාළුවට ගිය නිවසක ගෙවත්තේ ළිඳක්‌ තුළ මිය ගොස්‌ සිටියදී හමුවූ දස හැවිරිදි දියණියගේ සහ ඇගේ මවගේ මරණ එම ළිඳට පැන දිවි හානිකර ගැනීමෙන් සිදුවී ඇති බව පෙරේදා (01 දා) අනුරාධපුර ශික්‌ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එච්. ඒ. කරුණාතිලක මහතා විසින් පැවැත්වූ පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණය විය.

එම මරණ පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණ අනුරාධපුර අතිරේක මහෙස්‌ත්‍රාත් යුරේෂා ද සිල්වා මහත්මියගේ නියෝගයකට අනුව අනුරාධපුර ශික්‌ෂණ රෝහලේදී පවත්වනු ලැබිණි.මෙලෙස මියගොස්‌ ඇත්තේ අනුරාධපුර ශ්‍රාවස්‌තිපුර, සුදර්ශන මාවතේ නිවසක කුලියට පදිංචිව සිටි අලහකෝන් මුදියන්සේලාගේ නිරෝෂණී පතිරාජ මැණිකේ (43) සහ ඇගේ එකම දියණිය සමාධි භද්‍රdංජලී (10) යන දෙදෙනායි.

මියගිය දියණිය අනුරාධපුර පොතානේගම මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිට ඇති අතර ඇය මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිතව සිටියාය.


 ඉකුත් 31 වැනිදා සවස ළිඳට පැන දිවි හානි කරගත් දියණියගේ සහ මවගේ මළ සිරුරු පෙරේදා (01 දා) උදේ අසල්වාසියකු විසින් සොයා ගත් අතර අනතුරුව ඔවුන් මේ පිළිබඳව පොලීසියට දැනුම් දී තිබිණි.

අනුරාධපුර සහකාර පොලිස්‌ අධිකාරී එස්‌. සමුද්‍රජීව මහතාගේ මෙහෙයවීමෙන් අනුරාධපුර මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක තිස්‌ස විතානගේ සහ අපරාධ විමර්ශන අංශයේ වැඩබලන ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක එම්. ජී. ගුණවර්ධන සහ උප පොලිස්‌ පරික්‍ෂක අමරසිංහ යන මහත්වරුන් එහි ගොස්‌ පරීක්‍ෂණ ආරම්භ කළහ.

අනුරාධපුර අතිරේක මහෙස්‌ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු යුරේෂා ද සිල්වා මහත්මිය හමුවේ ළිඳෙහි පාවෙමින් තිබූ මව සහ දියණියගේ මළ සිරුරු පොලීසිය විසින් ගොඩ ගනු ලැබිණි.

එම මළ සිරුරු අනුරාධපුර ශික්‌ෂණ රෝහලට යොමු කොට පශ්චාත් මරණ පරීක්‍ෂණ පවත්වා මරණවලට හේතුව පිළිබඳ වාර්තාවක්‌ අනුරාධපුර මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවට කැඳවන ලෙසත්, මළ සිරුරු ළඟම ඥතියකුට භාරදෙන ලෙසත් මහෙස්‌ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය.

මෙම සිද්ධිය පිළිබඳව පුළුල් පරීක්‍ෂණයක්‌ සිදු කොට ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස වැඩිදුරටත් අනුරාධපුර පොලිසියට නියෝග කළ අතිරේක මහෙස්‌ත්‍රාත්වරිය පෙබරවාරි මස 10 වැනිදා අධිකරණය හමුවේ සාක්‌ෂි කැඳවන ලෙසටද නියෝග කළාය.

අවාසනාවන්ත ලෙස මියගිය දැරිය පසුගිය වාර විභාගයේදී පන්තියේ දෙවැනි ස්‌ථානයට පත්ව ඇති බවත් ඇය ඉගෙනුමට ඉතා දක්‌ෂ ශිෂ්‍යාවක්‌ බවත් පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

එම දැරියගේ පියා පෞද්ගලික උපකාරක පන්ති රැසක ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස කටයුතු කරන අතර ඔහුගේ බිරිඳගේ සහ දියණියගේ සිරුරු හමුවූ ළිඳ සහිත නිවසේ වසර හතක්‌ පමණ පදිංචිව සිට ඇති බවටත් හෙළිවී තිබේ.

පසුව ඔවුන් මීට වසරකට පමණ ඉහතදී අනුරාධපුර ශ්‍රාවස්‌තිපුර සුදර්ශන මාවතේ නිවසක පදිංචිව සිට ඇත.

මියගිය කාන්තාව සිය දියණිය මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් කිරීම සඳහා ඇය නිතර පෞද්ගලික උපකාරක පන්ති රැගෙන යමින් දවසේ වැඩි කාලයක්‌ ඉගෙනීමේ කටයුතුවලට බල කරමින් පොලඹවා තිබේ.

සිය දියණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් කිරීම සඳහා බිරිඳ ගන්නා මහන්සිය සහ බල කිරීම බලා සිටිය නොහැකිවූ සැමියා (ඉංගී්‍රසි ගුරුවරයා) ඔන්න ඔය දරුවට ශිෂ්‍යත්ව විභාගය පාස්‌ වෙන්න කියා බල කරන්න එපා. ශිෂ්‍යත්ව විභාගය කියන්නෙ සාමාන්‍ය විභාගයක්‌ දරුවගේ ළමා කාලයෙ එයාට නිදහසේ ගත කරන්න ඉඩ දෙන්න යෑයි බිරිඳට පවසා තිබේ.

මේ සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා අතර සුළු මත ගැටුම් හා බහින් බස්‌වීම් නිතර නිතර ඇතිවී තිබේ.

මෙම සිද්ධිය වූ දිනද සැමියා සහ බිරිඳ අතර මේ සම්බන්ධයෙන් බහින්බස්‌වීමක්‌ හටගෙන ඇති බව පොලීසිය පවසයි. එම සිද්ධියෙන් පසු සැමියා තඹුත්තේගම ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පන්තියකට ගොස්‌ ඇත. එදින සවස 3.30 ට පමණ දැරිය සිය මව සමග පහ වසර ශිෂ්‍යත්ව පෞද්ගලික උපකාරක පන්තියකට යාමට සූදානම්ව ඇත.

මේ අතර බිරිඳ (නිරෝෂා පතිරාජ මැණිකේ) 31 වෙනිදා සවස 3.40 ට පමණ සිය සැමියා වන උදය කුමාර මහතාට දුරකථන ඇමතුමක්‌ දී උදය මම ඔයාට ගැලපෙන්නෙ නෑ. ඔයා වෙන අතක්‌ බලා ගන්න මම අද තීරණයක්‌ ගන්නවා යෑයි පවසා තිබේ.

සවස 7.00 පමණ වනවිට නිවසට පැමිණි සැමියා බිරිඳ සහ දියණිය නිවසේ නොසිටීම නිසා අසල්වැසි නිවැසියන්ගෙන් විමසූ විට දුව රැගෙන මව පන්ති යන්නට ඇති බව පවසා ඇත. ඒ වනතුරුත් ඔවුන් දෙදෙනා නොපැමිණීම නිසා සැමියා අසල්වාසීන් සමග එක්‌ව ඔවුන් සෙවීමට පටන් ගෙන තිබේ. එහෙත් එදින රාත්‍රී ඔවුන් හමුවී නැත.

මේ අතර පෙරේදා (01 දා) උදේ ඔවුන් සොයා ගැනීමට නොහැකිවූ තැන සැමියා මේ පිළිබඳව පැමිණිලි කිරීමට අනුරාධපුර පොලිසියට ගොස්‌ ඇත. මේ අතර ඔවුන් සමග සමීප ඇසුරක්‌ පවත්වාගෙන ගිය අසල්වාසී යුවළක්‌ මව සහ දියණියට සිදුවූයේ කුමක්‌ද යන්න විමසා බැලීමට ශාස්‌ත්‍ර කියන ස්‌ථානයකට යමින් සිටියදී අතුරුදන්වූ බිරිඳ සහ දියණිය සැමියා බිය ගැන්වීමට කලින් පදිංචිව සිටි නිවසේ සැඟවී ඇත්ද යන්න සොයා බැලීමට එම නිවසට ගොස්‌ ඇත.

එහි යන විට ඔවුනට අතුරුදන්වූ බිරිඳගේ ජංගම දුරකථනය නිවස ඉදිරිපිට බිම තිබී හමුවී ඇත. අනතුරුව මව සහ දියණිය සෙවීමට ගිය පුද්ගලයෙකු පාළුවට හැර තිබෙන ළිඳ පරික්‍ෂා කර බැලීමේදී දස හැවිරිදි දියණියගේ සිරුර එහි දිය මත පාවෙමින් සහ මවගේ සිරුර අඩි 25 ක්‌ පමණ ගැඹුරට ජලය පිරී පැවැති ළිං පතුලේ තිබෙන අයුරු දැක තිබේ.

අනතුරුව ඔහු වහා ඉංග්‍රීසි ගුරුවරයාට සහ පොලීසිය වෙත දුරකථන ඇමතුමක්‌ ලබා දෙමින් සිද්ධිය දැනුම් දී තිබිණි.

මේ පිළිබඳ මියගිය දස හැවිරිදි දැරියගේ පියා උදයකුමාර (45) මහතාගෙන් කළ විමසුමකදී මෙසේ කීය.

මගේ බිරිඳ පුංචි දේටත් සැලෙනවා. දරුවාට ශිෂ්‍යත්ව විභාගයෙන් පාස්‌ වෙන්න කියලා වැඩිය කරදර නොකරන ලෙස මම ඇයට නිතර කිව්වා. එයාට එය තේරුම් ගැනීමට නොහැකි වුණා. එයා හරිම හොඳ කෙනෙක්‌. එයාගේ ලාමක ගති නිසා තමයි මේ දේ කර ගත්තේ. තද හිතක්‌ එයාට තිබුණා නම් මෙවැනි විපතක්‌ මගෙ දරුවටයි නෝනටයි සිදු වෙන්නේ නෑ.

මේ පිළිබඳව උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති රවි විඡේගුණවර්ධන, නියෝජ්‍ය පොලිස්‌පති රංජිත් පද්මසිරි, අනුරාධපුර පොලිස්‌ අධිකාරී මහේෂ් සේනාරත්න සහකාර පොලිස්‌ අධිකාරී එස්‌. සමුද්‍රජීව යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක තිස්‌ස විතානගේ මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ වැඩබලන ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක එම්. ජී. ගුණවර්ධන සහ උප පොලිස්‌ පරීක්‍ෂක අමරසිංහ යන මහත්වරු වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment