මම තාම පෙම්වතියක් නෙවෙයි - Senali Fonseka

Lanka Live සම්මාන උළෙල ගැන සෙනාලි දැනගත්තේ කොහොමද?

ඇත්තට මම කලාවට ප්‍රිය නිසා කලාව ගැන මම ගොඩක් හොයනවා. ඉතින් මම අන්තර්ජාලයෙන් කලා තොරතුරු හොයලා බලනකොට 'මව්බිම' පත්තරේ මේ සම්මාන උළෙල ගැන දාල තිබ්බා. ඒකේ ජනප්‍රිය නිළි නාමලේඛනයේ මගේ ඡායාරූපයක් තියෙනකොට මට හිතාගන්න බැරි වුණා ඒ මමද කියලා. ඉතින් මම අම්මගෙන් ඇහුවා ඒ ෆොටෝ එක පෙන්නලා ඒ මම නේද ඉන්නේ කියලත්.

සෙනාලි ජනප්‍රිය නිළියන් අතරින් දැනට ඉදිරියෙන් ඉන්නවා කියලත් දන්නවා ඇති නේද?

ඔව්. මට පුදුමයි. මගේ පළමු චිත්‍රපටයෙන්ම මාව ගෙනත් තියෙන තැන ගැන. ඇත්තටම මට හිතාගන්න බැරි වුණා. ඇත්තටම ප්‍රේක්‍ෂකයන්ගෙන් මට ආදරය ලැබෙන එක ගැන හිතෙද්දි ඊටත් වැඩිය සන්තෝෂයි. මගේ වයස් මට්ටමේ වුණත් ජනප්‍රිය නිළි නාමලේඛනයේ ඉන්න අය මට වඩා නිර්මාණවලට දායකත්වය දීලා තියෙනවා. ඇත්තටම ඒ අය අතර මගේ නම තිබීමත් මට භාග්‍යයක්.


ජනප්‍රිය නිළි ලැයිස්තුවේ ඉස්සරහට එන්න කැම්පේන් එකක් ගෙනියනවද?
එහෙම නෑ. මගේ ෆේස්බුක් එක හරහා මගේ රසිකයන්ට මගේ ජීවිතයේ වෙන දේවල් දැනුම් දෙනවා. ඉතින් මම මේ සම්මාන උළෙල ගැන වගේම මම මේ සම්මානය ලබන්න සුදුසුනම් මට මනාපය දෙන්න කියලා මම ෆේස්බුක් හරහා දැනුම් දීලා තියෙනවා. මොකද මේ සම්මාන උළෙල අලුත්නේ. ඒක නිසා මේ ගැන දන්න ප්‍රමාණය අඩුයි. ඒ නිසා තමයි එහෙම කළේ. මගේ යාළුවෝ, මගේ රසික රසිකාවියෝ මට උදවු කරයි. එහෙම නැතිව අපිට සම්මානය ගන්න එයාලව බලෙන් පොලඹවන එක තේරුමක් නෑ. ඒක එයාලගේ කැමැත්තනේ.

අලුතින් මේ වගේ සම්මාන උළෙලක් පවත්වන එක ගැන මොකද හිතෙන්නේ?
මීට කලිනුත් සම්මාන උළෙලවල් තිබ්බා. සිනමාව කියන්නේ නළු නිළියන් විතරක් නෙවෙයි. සිනමා නිර්මාණයක් බිහිවෙන්නේ ඊට සම්බන්ධ ගොඩක් අයගේ දායකත්වයත් එක්ක. ඒ නිසා ඒ හැමෝම අගයන්න මේ වගේ තවත් දෙයක් වැඩිවෙන එක ගැන සතුටුයි.

ඔබට මේ සම්මානය ලැබෙයි කියලා විශ්වාසයක් තියෙනවද?
ජනප්‍රිය නිළිය තේරීමේ තීරණය තියෙන්නේ ජනතාව අතේ. දැනට ඉදිරියෙන් ඉන්න ඩිනක්‍ෂි අක්කවත් මම දන්නවා. එයා ගොඩක් දක්‍ෂයි. ඒ වගේම එයා හොඳ නිළියක්. අපි අතරින් මේ සම්මානය ලබන්න සුදුසු කෙනාට මනාප ලැබෙයි. ඒක කාට ලැබුණත් ප්‍රශ්නයක් නැහැ.

ඔබේ පළමු නිර්මාණයෙන්ම මේ විදිහට ඉදිරියට එන්න ලැබුණේ ඔබේ දක්‍ෂතාව නිසාද? එහෙම නැත්නම් ප්‍රවීණ පරම්පරාවක පුරුකක් නිසාද?
මෙහෙමයි. මම මේ විදිහට ඉදිරියට ඇවිත් තියෙන්නේ ඥාතිත්වය නිසා නෙවෙයි කියලයි මට හිතෙන්නේ. මොකද මම මේ නිර්මාණයට සම්බන්ධ වුණෙත් අනිත් අය වගේම සුදුසුකම් සම්පූර්ණ කරලා. මම මගේ ලොකු නැන්දගේ රංගනයට ගොඩක් ආස කළා. ඒ නිසයි මම රංගනයට ආවෙත්. ඉතින් සෝමෙ මාමා සහ රේණුකා නැන්දා යටතේ මේ වගේ හොඳ නිර්මාණයකට මුලින්ම දායක වෙන්න ලැබුණු එකත් ලොකු භාග්‍යයක්. සිරි පැරකුම් චිත්‍රපටය හරහා තමයි මම ප්‍රේක්‍ෂකයෝ අතරට ගියේ. ඔවුන්ගේ ආදරය දිනාගත්තේ. ගොඩක් දෙනෙක් මාව අඳුරගත්තේ සෙනාලි විදිහට නෙවෙයි. සිරිමල් එතනා විදිහට. එහෙම අඳුර ගත්තෙත් මම ඒ චරිතයට සාධාරණයක් කළ නිසා කියලයි මම හිතන්නේ.

හදිස්සියෙම ලංකාවට ආවෙත් මේ සම්මාන උළෙල ගැන දැනගත්ත නිසාද?
මම කොහොමත් දෙසැම්බර් නිවාඩුවට ලංකාවට එන්න හිටියේ. ඒත් ජනවාරි තමයි ලංකාවට එන්න ලැබුණේ. සම්මාන උළෙල ගැන හිතාගෙනම නෙවෙයි ලංකාවට ආවේ. ඒත් මම හරිම වෙලාවට ලංකාවට ආවා කියලා හිතනවා.

අධ්‍යාපන කටයුතු පැත්තෙන් මොකද වෙන්නේ?
මගේ විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු පටන් ගත්තා. මම ජීව විද්‍යා අංශයෙන් විද්‍යාඥවරියක් වෙන්න තමයි ඉගෙන ගන්නේ. දැන් එක විභාගයක් ඉවර වුණා. අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කරන්න තව අවුරුදු තුනක් තියෙනවා.

ඔබ ඉදිරියටත් රංගනයෙන් දායක වෙනවා නම් ඔබේ රූපය නිසා ඔබ ඒකාකාරී චරිතවලට කොටු වෙයිද?
මම හිතන්නේ ඕනම කෙනෙක් විවිධ චරිතවලට ගැළපෙනවා. නිළියක් විදිහට මම කැමැති නෑ එක චරිතයකට කොටු වෙන්න. අපි සාමාන්‍ය ජීවිතයේ වුණත් එක විදිහක චරිත නෙවෙයිනේ. ඒ නිසා දක්‍ෂකම තියෙනවා නම් එක දෙයකට සීමා නොවී හැමදෙයකින්ම අත්දැකීම් ලබාගන්න අපිට පුළුවන්. දැන් වෙනකල් මට ආරාධනා ලැබිලා තියෙන නිර්මාණවල චරිත එකකට එකක් වෙනස්.

මොනවද ඒ වගේ ලැබුණු වෙනස් චරිත?
මම දිලුකගේ 'කළු සෙවණැල්ල' ටෙලි වෘත්තාන්තයට සම්බන්ධ වුණා. ඒක වෙනස් විදිහක කතාන්දරයක්. ඒක 13 වැනි සියවසේ ත්‍රාසජනක කතා පුවතක්. මේ ටෙලි නිර්මාණයේ 'එමිලි' කියන චරිතයට තමයි මම දායක වෙන්නේ. සිරිමල් එතනට වඩා මේ චරිතය වෙනස් චරිතයක්. මම හිතනවා සිරිමල් එතනට වගේම එමිලිගේ චරිතයටත් හොඳ ප්‍රතිචාර ලැබෙයි කියලා. මේක මගේ රංගනයට කැමැති ප්‍රේක්‍ෂකයන්ට වෙනස් අත්දැකීමක් වෙයි.

රංගනයේ ඉදිරියට යන්න නම් හැදෑරීමක් අවශ්‍යයි. ඔබත් ඒ හැදෑරීම්වලට කාලය වෙන් කරනවද?
සෝමෙ මාමත් මට උගන්වපු පාඩම තමයි රංගනය ගැන හදාරන්න කියන එක. මම ආයෙම එංගලන්තයට ගියාම ඒ හැදෑරීම් පටන් ගන්නවා. ඒ වෙනුවෙන් අවශ්‍ය දේවල් සූදානම් කරලා තමයි මම ලංකාවට ආවේ. කොහොමත් විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතුයි රංගන කටයුතුයි එක්ක හැදෑරීම්වලට කාලය වෙන් කරනවා.

පෞද්ගලික ජීවිතය පැත්තට හැරුණොත් සෙනාලි දැන් පෙම්වතියක්ද කියලත් කියමු.

තාම පෙම්වතියක් නෙවෙයි. මට හැමදෙයක්ම සුදුසු කාලෙදි ලැබුණා. ඒ කියන්නේ උසස් පෙළ කරපු ගමන් සිරි පැරකුම් චිත්‍රපටයේ රඟපාන්න ලැබුණා. ප්‍රේක්‍ෂක ආදරයත් ලැබුණා. මම පවුලේ එකම ළමයා. හැමෝගෙම ආදරය ලැබුණු මට ඔය කියන ආදරයත් හරිම කාලේ ලැබෙයි. මොකද ආදරය කියන්නේ විහිළුවක් නෙවෙයිනේ. ආදරය කරන කෙනා සෙල්ලමට ගන්නත් මම කැමැති නෑ. ඒ නිසා හරි කාලෙට හරි කෙනෙක් මට ලැබෙයි.


තිළිණි කෞශල්‍යා විජේසිංහ

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment