පණුවන් ගැසූ කේක් බෙදා හැරිය රොසරි සමාගමේ බලපත්‍රය තහනම්

පණුවන් සහිත රොසරි කේක් විකිණීම සඳහා බෙදාහළ බවට අධිකරණය හමුවේ වරදකරු වූ වේයන්ගොඩ පාම් හේටි ස්ටේට් රොසරි කන්පැක්ෂනරි සමාගමෙහි වෙළෙඳ බලපත්‍රය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු රුවන්දිකා මාරසිංහ මහත්මිය නියෝග කළාය.

පණුවන් සහිත රොසරි කේක් විකිණීම සඳහා බෙදාහැරීමේ වරදට එම සමාගමට මුදලින් රුපියල් දස දහසක දඩයක්ද නියම කෙරිණි. රොසරි කන්පැක්ෂනරි සමාගමේ වෙළෙඳ බලපත්‍රය තහනම් කරමින් අධිකරණය ලබාදුන් මෙම නියෝගය සමාගම් ලේකම්වරයා වෙත යවන්නැයි අධිකරණයේ රෙජිස්ට්‍රාර් රත්නායක මහතාට විනිසුරුවරිය තවදුරටත් නියෝග කළාය.

පුස් වර්ධනය වූ මහජන පරිභෝජනයට නුසුදුසු රොසරි කේක් විකිණීම සඳහා බෙදාහළ බවට විත්තිකාර රොසරි සමාගමට එරෙහිව අධිකරණය හමුවේ තිබූ පෙර වැරැද්දක්ද සැලකිල්ලට ගනිමින් මෙම දඬුවම් නියම කෙරිණි.මේ අතර පණුවන් සහිත රොසරි කේක් අලෙවිය සඳහා ප්‍රදර්ශනය කළ බවට අධිකරණය හමුවේ වරදකරු වූ ගලෙන්බිඳුණුවැව මේනුක කැෆේ අයිතිකරු වන ඩී.එම්. විජේරත්න නමැත්තාට මුදලින් රුපියල් පන්දහසක දඩයක්ද නියම කෙරිණි.


විත්තිකාර රොසරි සමාගමට දඬුවම් නියම කරමින් විනිසුරු රුවන්දිකා මාරසිංහ මහත්මිය කියා සිටියේ ගලෙන්බිඳුණුවැව සහ කහටගස්දිගිලිය මෙන්ම අවට ප්‍රදේශවල ජීවත්වන්නේ අහිංසක ජනතාවක් බවයි. ඉන් බොහොමයකට කේක් හෝ වෙනත් යමක් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනය, කල් ඉකුත් වීමේ දිනය වැනි දේ පරීක්‍ෂා කිරීමට හැකියාවක් නැති බවද කියා සිටි විනිසුරුවරිය එවැනි තත්ත්වයක් තුළ මෙවැනි වැරැදි කරන සමාගම්වලට එරෙහිව අධිකරණය දැඩිව ක්‍රියා කරන බවද කීවාය.

ගලෙන්බිඳුණුවැව මහජන සෞඛ්‍ය පරීක්‍ෂක පද්මසිරි බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් යකල්ල මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ගොඩකුඹුර මහතාගේද සහාය ඇතිව මේ වැටලීම සිදුකර විත්තිකාර රොසරි කන්පැක්ෂනරි සමාගමට එරෙහිව කහටගස්දිගිලිය සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබිණි. විත්තිකාර රොසරි කේක් කන්පැක්ෂනරි සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂවරයා වෙනුවෙන් බලයලත් නියෝජිත පියුසර් ප්‍රසන්න වීරක්කොඩි මහතා අධිකරණය හමුවේ පෙනී සිටි අතර විත්තිකාර රොසරි කන්පැක්ෂනරි සමාගම වෙනුවෙන් ජේ‍යෂ්ඨ නීතිඥ අමරසිරි හෙට්ටිගේ මහතා පෙනී සිටියේය.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment