මත්කුඩු ජාවාරම් කළැයි අත්අඩංගුවට ගත් වැල්ලම්පිටිය ඕඅයිසීගේ බිරියත් අත්අඩංගුවට

හෙරොයින් ජාවාරම සඳහා ආධාර අනුබල දුන් බවට චෝදනා ලැබ සිටි වැල්ලම්පිටිය පොලිස්‌ ස්‌ථානාධිපතිවරයාගේ (ඕඅයිසී) බිරිඳත් කොළඹ අපරාධ කොට්‌ඨාසය මගින් ඊයේ (01 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

හෙරොයින් ජාවාරමේ යෙදුණු බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක එම්. ඩී. මුණසිංහ, කොළඹ අපරාධ කොට්‌ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ පෙරේදා (31 වැනිදා) රාත්‍රි 7.00 ට පමණය.

ස්‌ථානාධිපතිවරයාගේ නිල නිවසේ අල්මාරියක සඟවා තිබූ රුපියල් ලක්‍ෂ දහයකට ආසන්න වටිනාකමෙන් යුත් හෙරොයින් තොගයක්‌ කොළඹ අපරාධ කොට්‌ඨාසය මගින් එදින අත්අඩංගුවට ගෙන තිබිණි.පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළිවී ඇත්තේ වැල්ලම්පිටිය පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා හෙරොයින් පාවිච්චියට ඇබ්බැහි වූවන්ට හෙරොයින් විකුණා ඇති බවයි.වැල්ලම්පිටිය ප්‍රදේශයේ සිදුකරන හෙරොයින් වැටලීම්වලදී අත්අඩංගුවට ගන්නා හෙරොයින් මොහු මෙසේ අලෙවිකර ඇති බවද අනාවරණය වී තිබේ.


හෙරොයින් මිලදී ගැනීමට එන පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන ඇත්තේ පොලිස්‌ ස්‌ථානාධිපතිවරයාගේ බිරිඳ බවද මේ වන විට හෙළිවී ඇත.

ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා පොලිස්‌ ස්‌ථානාධිපතිවරයාගේ බිරිඳ අපරාධ කොට්‌ඨාසය මගින් ඊයේ අත්අඩංගුවට ගත් අතර ඊයේ සවස්‌ වන තුරුත් ඇගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටි බව වාර්තා වේ.

වැල්ලම්පිටිය පොලිස්‌ ස්‌ථානාධිපතිවරයාගෙන් හෙරොයින් මිලදී ගන්නා පුද්ගලයකුගෙන් ලැබුණු තොරතුරක්‌ මත කළ විමර්ශනවලදී මෙම ජාවාරමේ සුලමුල හෙළිකර ගැනීමට අපරාධ කොට්‌ඨාසය සමත් විය. කොළඹ අපරාධ කොට්‌ඨාසය භාරයේ සිටින වැල්ලම්පිටිය පොලිස්‌ ස්‌ථානාධිපතිවරයාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යන අතර පසුව ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment