කැලණිය යළිත් මර්වින් සිල්වාට

"මා හැර නොගිය සියලුදෙනාට
කළ හැකි සෑම දෙයක්‌ම කරනවා"
පසුගිය වසරේ කැලණිය ආසනයේ සිදුවූ යම් යම් ක්‍රියාකාරකම් හේතු ප්‍රකාරව තාවකාලිකව ආසන සංවිධායකකමින් ඉවත්කර සිටි ආචාර්ය මර්වින් සිල්වා අමාත්‍යවරයා නැවත කැලණිය ආසනයේ සංවිධායක ලෙස පත්කර ඇත. ඒ අනුව ඊයේ පෙරවරුවේ ඓතිහාසික කැලණි රාජමහා විහාරස්‌ථානයට පැමිණ ආගමික කටයුතු ඉටුකරන ලදී. තම බිරිඳ, මාලක සිල්වා පුතණුවන් සහ ඔහුගේ අනාගත සහකාරියද මේ අවස්‌ථාවට එක්‌ව සිටිනු දැකගත හැකිවිය.

මෙහිදී කැලණි රාජමහා විහාරාධිපති පූජ්‍යපාද මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්‌ත හිමියන් මෙන්ම හැඳල පුරාණ විහාරාධිපති පූජ්‍යපාද හිග්ගොඩ සද්ධානන්ද හිමියන් ප්‍රධාන මහ සඟරුවන විසින් කැලණිය ධාතු මන්දිරය තුළදී මර්වින් සිල්වා අමාත්‍යවරයා ප්‍රධාන පිරිසට සෙත් පිරිත් සඡ්ජාධායනා කර සධාතුක කරඬුව හිස මත තබා ආශිර්වාද ප්‍රාර්ථනා කළහ. අනතුරුව මෙහිදී ඔහු තම ගෙලෙහි තිබූ රන් මාලය ගලවා කරඬුවට පූජා කරන ලදී. පසුව බෝධි පූජාවක්‌ සහ බෝධීන් වහන්සේ වටා චීවරයක්‌ද පළඳවන ලදී.

මෙහිදී පැමිණ සිටි පිරිස ඇමතූ ඇමැති මර්වින් සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ තමා නැවත කැලණියේ ආසන සංවිධායක වශයෙන් කටයුතු ආරම්භ කිරීමට අවස්‌ථාව උදාකරගත් බවත් ඒ සඳහා බුදුන් වැඩි කැලණි පිං බිමට පැමිණ තුණුරුවන්ගේ ආශිර්වාදය ලබාගත් මේ මොහොතේ පෙරට වඩා හොඳ අවබෝධයකින් කටයුතු දියත්කොට කැලණිය ආසනයේ මෙන්ම මුළු දිසාවේම ජනතාවට මහත් මෙහෙවරක්‌ සිදු කරන බවය.
ඒ වගේම විපතේදී මා හැර නොගිය සියලු දෙනාගේ කැපවීම අගය කරන බවත්, මට දිරි දෙමින් මා වටා ඒකරාශී වූ ඒ හැමදෙනාට කළ හැකි සෑම දෙයක්‌ම නොපැකිළව ඉටුකරන බවත් සඳහන් කළහ. මෙම අවස්‌ථාවට කැලණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන්, පෑලියගොඩ නගර සභාවේ මන්ත්‍රීවරුන් මෙන්ම පක්‍ෂ ක්‍රියාකාරීන් විශාල පිරිසක්‌ එක්‌ව සිටිනු දැකගත හැකිවිය.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment