මම හම්බෙන සල්ලි වියදම් කරන්නේ ගොඩක් දුරට ජනතාවගේ යහපතටමයි - Ranjan Ramanayake

" මගේ හඳහනේ තියෙන්නේත් උල්පතකින් වගේ මුදල් එන නිසා කවදාවත් ඒවා පල්වෙන්න දෙන්න එපා සියලු දෙනාට ඒවා බෙදාහරින්න කියලා  "

රන්ජන් රාමනායක බිස්නස් කරනවද?
ඔව්.

මොනවද කරන බිස්නස්?
සිනමාව, ටෙලි නාට්‍ය හා සංගීතය මේ තුන තමයි මගේ බිස්නස් එක.

ඒවා කොහොමද බිස්නස් එකක් වෙන්නේ?
අපි චිත්‍රපට කරන්නේ මුදල් හම්බකරන්නනේ. ටෙලි නාට්‍ය කරන්නෙත් එහෙමයි. ඊට අමතරව මම කැසට්පට නිෂ්පාදනය කරනවා. චිත්‍රපට අධ්‍යක්‍ෂණය කරනවා. ඒ නිසා සංගීතය සිනමාව කියන්නේ ව්‍යාපාරයක්.


දැන් එතකොට රන්ජන් මන්ත්‍රිවරයෙක්ද රංගන ශිල්පියෙක්ද එහෙමත් නැත්නම් බිස්නස්කාරයෙක්ද?
ඒ හැම එකටම අයිතියි. 

බිස්නස් විදියට චිත්‍රපට කර්මාන්තය කරගෙන යන්න රන්ජන්ට සල්ලි කොහෙන්ද?
ඒකට ගොඩක් දුරට අපිට කොම්පැනි අනුග්‍රාහකත්වය දක්වනවා. ඡ්ඒර්ථී වගේ. අපි කොමිෂන් එකකට අනුව තමයි වැඩ කරන්නේ.

ළඟ සේවකයෝ කී දෙනෙක් වැඩ කරනවද?
මගේ කාර්ය මණ්ඩලයේ 6 දෙනෙක් වගේ ඉන්නවා.

වැඩිපුර කැමැති රඟපාන්නද එහෙම නැත්නම් චිත්‍රපට
අධ්‍යක්‍ෂණය කරන්නද?
දෙකටම.

කොහොමද මේ හැම දෙයක්ම බැලන්ස් කරන්නේ?
මම කසාද බැඳලා නැහැ. දරුමල්ලෝ නැහැ. ඒ නිසා බැඳීම් නැහැ. එතකොට කාලය ඉතුරුයි. කාලය හරියට කළමනාකරණය කරගත්තම හරි.

රඟපෑමෙන් කවද්ද සමුගන්නේ?
ජනතාව මට සමුගන්න කියපු දවසට.

දේශපාලනයෙන් ඉවත්වෙලා ඔය කියන විදියට සම්පූර්ණ කාලය බිස්නස් එක දියුණු කරන්න යෙදෙවුවොත් හොඳ නැද්ද?
එහෙම නැහැ. හැම දෙයක්ම සම සමව කරගෙන යනවා.

සාමාන්‍යයෙන් ෆිල්ම් එකක් කරන්න කීයක් විතර යනවද?
ලක්‍ෂ 100ක් 200ක් වගේ සාමාන්‍ය ෆිල්ම් එකකට යනවා. හැබැයි සිද්ධාර්ථ ගෞතම වගේ ලොකු ෆිල්ම් එකකට නම් ලක්‍ෂ 1000, 2000 වගේ යනවා. මාලිගා හදලා, ඇත්තු ගෙනැල්ලා, අශ්වයෝ ගෙනැල්ලා හදන ලොකු ෆිල්ම්මුත් මම කරලා තියෙනවා. ඒ වගේ එක එක ෆිල්ම්වලට බජට් එක වෙනස් වෙනවා.

උපරිම දරලා තියෙන බජට් එක කීයද?
සිද්ධාර්ථ ගෞතම ෆිල්ම් එක තමා උපරිම බජට් එකක් මෑතකදී ගියේ. හැබැයි ඒකට මම රංගනයෙන් විතරයි දායක වුණේ.

මම අහන්නේ ඔබ අධ්‍යක්‍ෂණය, නිෂ්පාදනය කරපු ෆිල්ම්වලින්?
මගේ ෆිල්ම්වලින් නම් පාර්ලිමන්ට් ජෝක්ස් ෆිල්ම් එකට තමා වැඩිම වියදමක් ගියේ. හැබැයි ඒකට ජාතික චිත්‍රපට සංස්ථාවෙනුත් අනුග්‍රාහකත්වය හම්බුණා.

ෆිල්ම් කරලා පාඩු ලැබිලම නැද්ද?
ඇත්තටම මට පාඩුවෙලා නැහැ. පාර්ලිමන්ට් ජෝක්ස්, ලීඩර්, වන්ෂොට් මේ හැම එකක්ම ලාභ ලැබුවා මිසක් පාඩුවක් කියන්න බැහැ. මම චිත්‍රපට 4ක් අධ්‍යක්‍ෂණය කරලා තියෙනවා. ඒ හැම චිත්‍රපටයක්ම වගේ දෙයියන්ගේ පිහිටෙන් ජනතාව වැලඳගෙන තියෙනවා. ඊට අමතරව මම කැසට්පට කිහිපයක් කරලා තියෙනවා. ඒවගෙනුත් ලාභ හම්බෙලා තියෙනවා.

ව්‍යාපාරයක් විදියට චිත්‍රපට කර්මාන්තය ගැන මොකද හිතන්නේ?
ව්‍යාපාරයක් විදියට චිත්‍රපට කර්මාන්තය කවදාවත් නැතිවෙලා යන් නැහැ. මොකද මේක මිනිස්සු සන්තෝෂ කරලා හොයන සල්ලියක්. ඒ නිසා යා දෙනවා. කාටවත් ගින්දර දීලා හොයන ව්‍යාපාරයක් නෙවේ මේක.

රන්ජන් සල්ලිකාරයෙක්ද?
මම පොඩි කාලේ ඉඳලම හොඳට සල්ලි වියදම් කරපු එකෙක්. මම ඉතුරු කරලා නැහැ. අඩුම තරමේ මට ලියපු ගේත් මම මාස 6න් විකිණුවා අම්මලා බනිද්දි. ඒ නිසා මට සල්ලිකාරයෙක් කියන්න සල්ලි මං ළඟ නැහැ.

ඒ කියන්නේ නාස්තිකාරයෙක්?
මෙහෙමනේ... මේ ලෝකේ මිනිස්සු වර්ග 2ක් ඉන්නවා. එකක් තමයි හම්බකරලා සන්තෝෂ වෙන අය. දෙවැනි කට්ටිය තමයි වියදම් කරලා සන්තෝෂ වෙන අය. මාව අයිති වෙන්නේ ඒ ගොඩට. මගේ යාළුවෝ, නෑදෑයෝ හැමෝම දන්නවා මට කවදාවත් සල්ලි ළඟ තියාගන්න බැහැ කියලා. පුදුම ප්‍රශ්නේ මට සල්ලි ළඟ තියෙනකොට නින්ද යන්නේ නැහැ.

නාස්තිකාරයෙක් කොහොමද එතකොට බිස්නස් කරන්නේ?
නාස්තිකාරයෙක් නෙවේ. මට ඩුබායිවල ඇපල් වතු නැහැ. පරම්පරා පෝසත් කරන්න මට ඕන නැහැ. මම කැමැතියි ඉන්න කාලේ සන්තෝෂයෙන් ඉන්න. මට හම්බෙන සල්ලි වියදම් කරන්නේ ගොඩක් දුරට ජනතාවගේ යහපතටමයි.

මේ ළඟකදී අර කඹුරුපිටියේ ආරියවතී කියලා ඇණ ගහගෙන මැදපෙරදිග ඉඳලා ලංකාවට ආවේ... එයාට ගෙයක් නැහැ කිව්වා. මම ටක් ගාලා එයාට ගෙයක් හදලා දුන්නා. මම හිතන්නේ ජීවිතේ කියලා කියන්නේ උපතයි විපතයි මැද තියෙන දෙයක්. ඒ නිසා ඉන්න දවස සන්තෝෂයෙන් ඉන්නයි මට ඕනෑ.

දැන් සල්ලි ඉතුරු කරලම නැද්ද?
මට ඉතුරුවක් නැහැ. මට මේ ග්‍රහලෝකේ ගෙයක් නැහැ. මම ඉන්නේ මන්ත්‍රිවරුන්ට රජයෙන් දෙන 10/12 ගෙදරක. සුපිරි නළුවා කියලා සමහරු කිව්වට මට ඇත්තටම ගෙයක් නැහැ. හැබැයි මට සල්ලි අගතියකුත් නැහැ. මගේ ගුරු දෙකේ ඉන්නේ මගේ හඳහනේ තියෙන්නේත් උල්පතකින් වගේ මුදල් එන නිසා කවදාවත් ඒවා පල්වෙන්න දෙන්න එපා කියලා. සියලු දෙනාට ඒවා බෙදාහරින්න කියලා හඳහනේත් තියෙන්නේ.

ආදායම් බදු ගෙවනවද?
ඔව්.

කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කරලා තියෙනවද?
අනේ නැහැ. මම කොටස් වෙළෙඳපොළ ගැන දන්නෙත් නැහැ.

බිස්නස් එකක් දියුණු කරන්න මොනවද කරන්න ඕන?
ප්‍රධානම දේ කාර්යබහුලව වැඩ කරන එක. අනෙක් එක අපි නීතිගරුකව දෙයක් කරනවනම් ගොඩක් දුරට ඒක වරදින්නෙ නැහැ.

ලංකාවේ හොඳම බිස්නස්කාරයා කවුරු කියලද හිතන්නේ?
ඒකනම් එක පාර මතකෙට එන් නැහැ.

කැමැති නැද්ද කෝටිපතියෙක් කියලා හඳුන්වනවට?
නෑනේ ඉතින්. මිනිහෙක් මනින්න ඕන මුදල්වලින් නෙවෙයි. කීර්තිනාමයෙන්. කොච්චර මුදල් හෙව්වත් නම නරකයිනම් වැඩක් නැහැ. සල්ලිවලින් කෝටිපතියෙක් වෙන්න මට ඕන නැහැ. හදවතින් කෝටිපතියෙක් වුණහම ඇති.


අනුරාධ සැමුවෙල්
anuradhasamuwel@gmail.com

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment