මම දකුණේ. දකුණ මගේ. මම දකුණට. දකුණ මට - Nadeesha Hemamali

කලාව තුළින් ජනප්‍රිය ප්‍රතිරූප ගොඩනගා ගන්නා බොහෝ අයගේ ඊළඟ පියවර දේශපාලනය වී ඇත. වර්තමානය වන විට මෙම ප්‍රවණතාව වැඩි වී තිබේ. අද බොහෝ නළු නිළියෝ දේශපාලන කරලියට එක්ව සිටිති. මේ අතර තවත් අය දේශපාලනයට එක්වීමට සැරසෙන බවට ආරංචි පැතිර යයි. මෙලෙස දේශපාලනයට එක්වූ නළු නිළි පිරිස අතරට එක්වූ අලුත්ම නම වී ඇත්තේ නදීෂා හේමමාලිගේ නමයි. එළැඹෙන පළාත් සභා මැතිවරණයේ දී දකුණු පළාත් සභාව සඳහා එක්සත් ජාතික පක්ෂය තුළින් තරග බිමට එක්වීමට නදීෂා හේමමාලි සූදානම් වේ. ඒ ගැන විමසමින් අපි ඇයව සංවාදයකට එක් කරගත්තෙමු.

අද කාලයේ බොහෝ අය දේශපාලනයට පැමිණෙන්නේ ආණ්ඩු පක්ෂයෙන් වුවත් ඇයි ඔබ විපක්ෂය තෝරාගත්තේ?

මේ රටේ ප්‍රශ්නවලට ප්‍රධාන හේතුව වන්නේ පාලන ක්‍රමයේ තිබෙන ප්‍රශ්න. විධායක ජනාධිපති ක්‍රමය හා මනාප ක්‍රමය මූලික කරගෙන තිබෙන පාලන ක්‍රමය යටතේ ජනතා වගකීම් නැති අය පාර්ලිමේන්තුවට ගියාම ජනතාවාදී පාලනයක් කිරීම ඉතා දුෂ්කරයි. ආණ්ඩුවට මේ පාලන ක්‍රමය වෙනස් කරන්න වුවමනාවකුත් නැහැ. මේ ආණ්ඩුවේ ඉහළ පෙළේ ඉන්න උදවිය පෞද්ගලිකව මේ ක්‍රමය යටතේ අයුතු ලෙස ප්‍රතිලාභ ලබනවා. මේ ක්‍රමය වෙනස් කිරීමේ හැකියාව ඇති ප්‍රධානම දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය නිසා මම ප්‍රතිපත්තිමය වශයෙන් එජාපය තෝරාගත්තා. 


මට ඉතාම පැහැදිලිව පෙනෙන කාරණාව නම් මේ ආණ්ඩුව දවසින් දවස මිනිසුන්ගෙන් ඈත්වෙනවා කියන එක. එක්සත් ජාතික පක්ෂය 2014දී අනිවාර්යයෙන්ම ආණ්ඩුවක් පිහිටුවනවා. එය පැහැදිලියි.

එක්සත් ජාතික පක්ෂය බලයට ආවොත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරාවි කියලා හිතනවද?
අනිවාර්යයෙන්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරාවි කියා මා විශ්වාස කරනවා. එක්සත් ජාතික පක්ෂය බලයට ආවාම කරන ප්‍රථම දේ තමයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරල නව ව්‍යවස්ථාවක් යටතේ මැතිවරණ ක්‍රමයකට යාම.

පවතින රජය තුළ ඔබ දකින ප්‍රධානම දුර්වලතා මොනවාද?
මුලින්ම කියන්න තියෙන්නේ මේ ආණ්ඩුව ‍ප්‍රෝඩාවක්. ඉහළ සිට පහළට වමේ සිට දකුණට මේ ආණ්ඩුව පුරාම තියෙන්නේ රැවටිල්ල. මේ තරම් කොමිස් ගහන රටේ ජාතික ධනය පිටරටට උකස් තියන ආණ්ඩුවක් මෑතකදී පහළ වෙලා නැහැ. 
ජනතාවගෙන් 99 බේත් ටික ගන්න නැතුව ඇඳුම් ගන්න නැතුව දුක් විඳින කොට 1 ක් කොමිස් ධනයකින් තෘප්තිමත් වෙනවා. ඒකෙන්ම පෙනෙනවා මේ රටේ ආණ්ඩුව ඉන්නේ මේ රටේ දුක් විඳින ජනතාව එක්ක නමෛයි කියලා. ඒ හින්දයි යුද්ධයෙන් පස්සේ මේ රටේ මිනිසුන්ට කිසිම යහපතක් සිදුවුණේ නැත්තේ.

එක්සත් ජාතික පක්ෂය තුළත් අද පවතින්නේ අර්බුදකාරී තත්ත්වයක් නේද? නායකත්වය පවා විවේචනයට ලක්වනවා.? 

මම පෞද්ගලිකව දන්න කරුණු කාරණා අනුව මෙය කියන්නම්. නායකත්වය හා නායකත්ව මණ්ඩලය විවේචනය කරන පුද්ගලයින් කිහිප දෙනකුට වුවමනා වී තිබෙන්නේ ඊළඟ ප්‍රධාන මැතිවරණයේදී යූ.එන්.පී.ය පරදන්න. එතකොට ඒ අයට "ඕකනේ අපි කිවුවේ රනිල් එක්ක බෑ කියලා "කියන්න පුළුවන්. ඒ අයට ඕන තම පුද්ගලික දේශපාලන න්‍යාය පත්‍රය දිනවන්න. ලක්ෂ 35කට වඩා යූ.එන්.පී. ඡන්ද දායකයන්ගේ අහිංසක බලා‍පොරොත්තු විනාශ කරල දානවා. 

විජේදාස රාජපක්ෂ මන්ත්‍රීතුමා කිවුව වගේ යූ.එන්.පී. නැව ගිල්ලන්න හදන අය දිගින් දිගටම එම කාර්යය කරන්න හදනවා නම් කරන්න තියෙන්නේ එම කුමන්ත්‍රණකාරයෝ ටික මුහුදට දාන එක.

ඊළඟ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ජය ගනීවි යැයි ඔබ විශ්වාස කරන බව පෙනෙනවා.
අනිවාර්යයෙන්ම ඔව්. ආණ්ඩුවේ ජනප්‍රියම තැන තිබුණේ 2009 දී යුද්ධයෙන් පසු අවස්ථාව. මො‍ලේ ඇති අය ආණ්ඩුවේ නොසිටි නිසා පැහැදිලි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළේ නැහැ. 2013 අවසන් වන විට සෑම මනුෂ්‍යයකුම පිටරටට ලක්ෂ 4 1/2 ක ණයකාරයකු වී තිබෙනවා. මිනිස්සු දවසින් දවස ආණ්ඩුවෙන් දුරස් වනවා. දැන් ජනතාවට වෙනසක් අවශ්‍යයි. යූ.එන්.පී. ය ප්‍රධාන විපක්ෂ බලවේගය විදියට විපක්ෂයේ අනිත් සියලුම පක්ෂ සමග පෙරමුණක් ගොඩනගාගෙන යනවා. ආණ්ඩු පක්ෂයේ ඇතැම් මැති ඇමැතිවරු පවා විශාල රැල්ලක් ඇති කරමින් නියම වේලාවට ජාතික මැතිවරණයේදී මේ ‍පොදු විපක්ෂ බලවේගය සමග එකතු වේවි. ගිනිකන්ද පුපුරන්න ළඟයි. ප්‍රාදේශීය සභා අයවැය ඡන්දවලදී ආණ්ඩුව පරදින එක ඒ පුපුරන්න තියෙන ගිනිකන්දෙ දුම විතරයි. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට. අපි එය බලාගෙන ඉමු.

මේ පළාත් සභා මැතිවරණයේදී ඔබට දිනන්න පුළුවන්ද?
අනිවාර්යයෙන්ම.

ගීතා කුමාරසිංහ අනර්කලී ආකර්ෂා මේ වන විටත් දකුණේ දේශපාලන ලෝකය තුළ සිටින්නේ ඔබට වඩා ඉදිරියෙන්. ඒ අය ඔබට අභියෝගයක් නෙමෙයිද?
මට තියෙන ලොකුම අභියෝගය මම. මගේ මිතුරත් මම. සතුරත් මම.

ඇයි ඔබ දකුණ තෝරාගත්තේ?
මම දකුණේ. දකුණ මගේ. මම දකුණට. දකුණ මට.

දේශපාලනයට එන්නට ඔබට තියෙන එකම සුදුසුකම නිළියක් ලෙස ලැබූ ජනප්‍රියත්වය පමණයි නේද?
නැහැ. මම පුංචිම කාලෙ ඉඳන් මේ සමාජ ආර්ථික ක්‍රමය යටතේ දුක් වින්ද කෙනෙක්. ඊළඟ පරම්පරාවට ඒ කරුමය උරුම නොකරන්න උත්සාහ කරනවා කියන අරමුණ මට තියෙනවා. විඳි දුක් අසාධාරණකම්, මාව දේශපාලනයට යොමු කරන්න හේතුවුණා. රංගන ශිල්පිනියක් වූ පසු මගෙ පෞද්ගලික ධනයෙන් ආගමික හා සමාජයීය වශයෙන් මා කළ දේ බොහෝ තියෙනවා. ඒවා නිහඬ සේවාවන්.

මොනවාද ඒ නිහඬ සේවාවන්?
අනාථ දරුවන් අසරණ වැඩිහිටියන් වෙනුවෙන් වාර්ෂිකව මා බොහෝ දේ කරනවා. වෙහෙර විහාරස්ථාන, පුණ්‍යකර්ම ආදිය වෙනුවෙන් මා බොහෝ දේ කර තිබෙනවා. ඉදිරියේදීත් ඒ වගේමයි.
තනිවම එබඳු සේවාවන් කරනවාට වඩා දේශපාලනයට එක්වී වඩාත් ප්‍රබලව ඒ සේවාව කළ හැකි නිසයි මා දේශපාලනයට එන්නට හිතුවේ.

උපේක්ෂා ස්වර්ණමාලි එක්සත් ජාතික පක්ෂය හරහා දේශපාලනයට ඇවිත් පසුව ආණ්ඩු පක්ෂය හා එක්වූවා. ඔබත් මතු දාක එවැන්නක් කරයිද?
කිසිසේත්ම නැහැ. ඒක මම සහතික වනවා.
දේශපාලනයේදී පුද්ගල ප්‍රතිරූපය වැදගත්. නදීෂා හේමමාලි කියන්නේ නොයෙක් මඩ ප්‍රහාර කටකතාවලට ලක්වූ කෙනෙක්. ඒවා ඔබේ දේශපාලන ප්‍රතිරූපයට මොන විදියේ බලපෑමක් කරයිද? 

වින්සන්ට් චර්චිල් ගේ ඉංග්‍රීසි කියමනක් තියෙනවා "සත්‍යය පහළට බහින්න කලිසම අඳිනකොට බොරුව ලෝකය වටේ ගිහින් අවසන්" කියලා. මා ගැන පැතිරුන බොරු කටකතා මඩ ප්‍රහාර අනිවාර්යයෙන්ම මගෙ ප්‍රතිරූපයට හානියක් කරාවි.
අද මේ රටේ සැබෑ හොරු ගැන වචනයෙන් නොදොඩන මාධ්‍ය තම පැවැත්ම සඳහා වැඩකට නැති ඕපාදූප විකුණනවා. ඒ නිසා මම මේ රටේ මාධ්‍ය හසුරුවන වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා වගකීමෙන් මාධ්‍ය හසුරුවන ලෙසට.

දේශපාලනය කලාව තරම් මටසිළුටු නැහැ. වාද විවාද, බැණ ගැනීම් වගේම ගුටි හුවමාරු පවා ඒ තුළ දකින්නට ලැබෙනවා. ඔබ මේවාට මුහුණ දෙන්නේ කොයි විදියටද?
කලාවත් ඔය කියන තරම් මටසිළුටු නැහැ. දේශපාලනයයි මාධ්‍ය කලාවයි වගේම බෙලි කැපිලි පිටුපසින් ඇවිත් පිහියෙන් ඇණීම් , මඩ ගැසීම් තියෙනවා. ඒකට හේතුව තමයි මේ හැම ක්‍ෂේත්‍රයකම ඉන්නේ පෘථග්ජන අය වීම. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, ද්වේෂය, ඔක්කොම වැඩිපුර තියෙන මිනිස්සු, මේ තත්ත්වය තේරුම් අරගෙන ඉදිරියට යද්දී මෙවැනි අයගේ ප්‍රතිචාර වලින් කම්පා නොවී ඉදිරියට යන්න පුළුවන් බව මා දන්නවා.

පසුගිය කාලයේ කලාකරුවෝ රැසක් දේශපාලනයට එකතු වුණා. නමුත් දේශපාලනය තුළ ඔවුන් මහා ලොකු දෙයක් කළ බව නම් පෙනෙන්නට නැහැ. ඔබත් ඒ ගොඩටම වැටෙයිද?
දේශපාලනයට පිවිසෙනවා නම් මුළු කාලයම දේශපාලනය සමග සිටිය යුතුයි. මම නම් දේශපාලනයට එන්නේ සෙසු සෑම දෙයටම, කොටින්ම කියනවා නම් කලාවට පවා දෙවැනි තැන දීලා දේශපාලනයට මුල් තැන දෙන්න. ඒ නිසා ඔබ ඔය කී ගොඩට මා නම් වැටෙන එකක් නැහැ.

ආරියවංශ කුලතිලක 

 

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment