නාමල්ගේ නයිට් රේස් බද්දෙන් නිදහස්

දෙසැම්බර් මස 15 දින කොළඹ කොටුව ප‍්‍රදේශය ආශ‍්‍රිතව පැවැත්වීමට නියමිත ජනාධිපති පුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂගේ රාත‍්‍රී මෝටර් රථ ධාවන සැණකෙළිය ඒ වෙනුවෙන් කොළඹ මහ නගර සභාවට ගෙවිය යුතු විනෝද බද්දෙන් නිදහස් කර ඇත.

බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංගගේ නියෝගයක් අනුව කොළඹ මහ නගර සභාව මෙම විනෝද බදු නිදහස ලබාදී තිබේ. මේ සම්බන්ධයෙන් කරන ලද විමසීමකදී කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය ප‍්‍රකාශ කළේ විනෝද බදු ආඥා පනත යටතේ පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයාට එවැනි නියෝගයක් ලබාදිය හැකි බවය.

පසුගිය වසරේ පැවති කොළඹ රාත‍්‍රී මෝටර් රථ ධාවන සැණකෙළියද බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග විසින් විනෝද බද්දෙන් නිදහස් කළ අතර කොළඹ පොලිස් ක‍්‍රීඩා පිටිය ආශ‍්‍රිතව ඊට පෙර පැවති කාල්ටන් රගර් සැණකෙළියද ප‍්‍රසන්න රණතුංග ප‍්‍රධාන අමාත්‍යවරයා විසින් විනෝද බද්දෙන් නිදහස් කරන ලදි.


මේ ආකාරයට ජනපති පුතුන්ගේ සැණකෙළි විනෝද බද්දෙන් නිදහස් කිරීමට හේතු කවරේදැ'යි දැනගැනීමට රාවය බස්නාහිර ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග දුරකතනයට සම්බන්ධ කරගැනීමට උත්සාහ කළද එය ව්‍යර්ථ වූ අතර ඔහුගේ කාර්යාලයේ නිලධාරියකු පැවසුවේ ප‍්‍රධාන අමාත්‍යවරයා විදේශගතවී ඇති බවයි. කොළඹ නගරය තුළ ටිකට් පත් අලෙවි කරමින් පවත්වන සෑම සැණකෙළියකින්ම 10%ක මුදලක් විනෝද බද්ද වශයෙන් කොළඹ මහ නගර සභාවට ගෙවිය යුතු අතර නාට්‍ය දර්ශන හා සංගීත සංදර්ශන ආදියද ඊට ඇතුළත්ය.

කාල්ටන් ක‍්‍රීඩා සමාජයේ ලේකම් ජාලිය ජයසේකරගෙන් රාවය කළ විමසීමකදී ඔහු ප‍්‍රකාශ කළේ කොළඹ රාත‍්‍රී මෝටර් රථ ධාවන තරග සඳහා රුපියල් 5000/-ක මිලෙන් යුත් ටිකට් පත් 300ක්ද, රුපියල් 2000/- මිලෙන් යුත් ටිකට් පත් 14,000ක්ද, රුපියල් 500/- මිලෙන් යුත් ටිකට් පත් 600ක්ද, රුපියල් 100/- මිලෙන් යුත් ටිකට්පත් 50,000ක්ද සූදානම් කර ඇති බවයි.

කාල්ටන් ක‍්‍රීඩා සමාජ ලේකම්වරයාගේ ප‍්‍රකාශයට අනුව රුපියල් තුන්කෝටි හතළිස් අට ලක්ෂයක ටිකට් පත් විකිණීමට නියමිත අතර ඒ සඳහා රුපියල් තිස්හතර ලක්ෂයක විනෝද බදු කොළඹ මහ නගර සභාවට ගෙවිය යුතුය.

රාත‍්‍රී මෝටර් රථ ධාවන සැණකෙළිය පවත්වන ප‍්‍රදේශයේ මත්පැන් සිගරට් හා විවිධ කෑම වර්ග විකිණීමේ ස්ථානද, ඒවා ජංගම විකිණීමේ කටයුතුද පසුගිය වසරේ සිදුවූ අතර රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන රාශියක් ඊට සිය අනුග‍්‍රහය ලබාදී තිබුණි.

රාත‍්‍රී කොළඹ මෝටර් රථ ධාවන සැණකෙළියේ පෙරහුරු තරග වෙනුවෙන් දෙසැම්බර් 14 වැනිදා ද යොදාගැනීමට නියමිත අතර ඒ අනුව එම දින දෙකේදී කොළඹ කොටුව ප‍්‍රදේශයට ඇතුළුවීම විටින් විට සීමා කෙරේ.

උපුටා ගැනීම -(රාවය- ලසන්ත රුහුණගේDecember 15, 2013)

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment