ඒ හතර දෙනා ගැන සලකා බැලෙයි


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවෙන් මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු ඉවත් කිරීම පිළිබඳව කිසිදු නීතිමය ප්‍රශ්නයක් පැන නොනගින බව එම පක්ෂය පවසයි.


අද දෙරණ කළ විමසීමකට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු සඳහන් කළේ මධ්‍යම කාරක සභාව සඳහා සාමාජිකයින් පත් කිරීම ජනාධිපතිවරයා සතු කාර්ය භාරයක් බවයි.


පක්ෂ ව්‍යවස්ථාවට අනුව හෝ මධ්‍යම කාරක සභාවේ තීන්දු තීරණවලට විරුද්ධව කටයුතු කරන ඕනෑම සාමාජිකයෙකු සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අවස්ථාව ජනාධිපතිවරයා සතු වන බව ද ඔහු සඳහන් කළේය.


පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන, සාලින්ද දිසානායක, ටී බී ඒකනායක සහ එස් එම් චන්ද්‍රසේන යන මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කර තිබේ.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ ලිපියකින් අදාළ මන්ත්‍රීවරුන්ට මේ පිළිබඳ දැනුම් දී තිබුණා.


මේ අතර මෙම සිද්ධිය පිළිබඳ බී.බී.සී සන්දේශය සමග අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත් මහතා සඳහන් කර ඇත්තේ සාමාජිකත්වය අත්හිටුවීමේ තීරණය බොහෝ දුරට යළි සලකා බැලෙනු ඇති බවයි.



Post a Comment