ශ්‍රී ලංකා ඉනිම 133යි - ඩුමිනිගෙන් කඩුලු ත්‍රිත්වයක්


ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවත් දකුණු අප්‍රිකාවත් අතර දැන් පැවැත්වෙන තරඟයේදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉනිම පන්දුවාර 37.2දී ලකුණු 133ට සීමා කිරීමට දකුණු අප්‍රිකානු පන්දුයවන්නෝ සමත් වූහ.


මහත් බලාපොරොත්තු සහිතව ලොව පුරා ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන් මෙම තරඟය දෙස දැඩි ලෙස නෙත් යොමා සිටියද ශ්‍රී ලංකා පිතිකරුවන් ඉතා අසරණ තත්ත්වයකට පත් කළ දකුණු අප්‍රිකානුවෝ මෙතෙක් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියක අවසන් පූර්ව වටයට පිවිසීමට නොහැකිව සිටීමේ අපලයෙන් මිදුණාදැයි සැකය ක්‍රීඩා ලෝලීන් තුළ මතු කරමින් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට සමත් විය.


ශ්‍රී ලංකා කණ්ඩායමේ මහත් බලාපොරොත්තු තැබූ ක්‍රීඩකයා බවට පත්ව සිටි කුමාර් සංගක්කාර 9 වැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වන විට ඔහු පන්දු 96ට මුහුණදී ලබා සිටියේ ලකුණු 45කි.


සංගක්කාරගේ දැවී යාමත් සමග පිටියට වර්ෂාවක් පතිත වුවද පසුව එය නතර විය.


යළි තරඟය ආරම්භ කිරීමෙන් පසු ලසිත් මාලිංග ලකුණු 3ට දැවී යාමත් සමග ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 37.2දී ලකුණු 133ක් ලෙස සනිටුහන් විය.


සංගක්කාරට අමතරව ලහිරු තිරිමාන්න ලකුණු 41ක්ද ඇන්‍ජලෝ මැතිව්ස් ලකුණු 19ක් ලබාගත් අතර සෙස‍ු පිතිකරුවන් කිසිවෙක් ලකුණු 5 සීමාවද ඉක්මවා නොයාම විශේෂත්වයකි.


පන්දුවෙන් දස්කම් පෑ ජේ පී ඩුමිනි කඩුලු ත්‍රිත්වයක්ද සමගින් පන්දුවාර 9දී ලකුණු 29ක් ප්‍රතිවාදීන්ට දුන් අතර ශ්‍රී ලංකා ඉනිමේ අවසානය කඩිනමින් ළඟා කළ පන්දු යවන්නා ලෙසටද ඔහු හැඳින්විය හැකිය.


තිසර පෙරේරා, නුවන් කුලසේකර හා තරිඳු කෞෂාල් ඩුමිනිගේ ගොදුරු බවට පත්විය.


මීට අමතරව ඉම්රාන් තහීර් පන්දුවාර 8.2දී ලකුණු 26ට කඩුලු 4ක්ද ලබා ගනිමින් දස්කම් දැක්වීය.



1992 සිට මේ දක්වා පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලි වලදී දකුණු අප්‍රිකාව අර්ධ අවසන් පූර්ව වටයකදී ජයග්‍රහණයක් ලබා ගෙන නැති අතර අද තරඟයේදී ඔවුන් එය සිදුකළහොත් මෙවර තරඟාවලියේදී එය දකුණු අප්‍රිකාව ලබා ගන්නා ඉහළම ජයග්‍රහණය ද වනු ඇත.


ඔස්ට්‍රේලියාවේ සිඩ්නි හි මෙම තරඟය පැවැත්වෙයි.



Post a Comment