ලෝක කුසලානයට පෙර දූෂිතයින් ඉවත් කළ යුතුයි

ඉදිරි ලෝක කුසලාන තරඟාවලියට ක්‍රීඩකයින් යොමු කිරීමට ප්‍රථම ක්‍රිකට් ආයතනයේ දූෂිත නිලධාරීන් ඉවත් කළ යුතුව ඇති බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.

මොවුන් තව දුරටත් අදාළ තනතුරුවල තබාගෙනම ලෝක කුසලානයට තරඟ කිරීමට කල්පනා කරන්නේනම් එය ක්‍රීඩකයින්ට ඉමහත් පීඩාවක් වනු ඇති බව මන්ත්‍රීවරයා කියා සිටියි.


අද (02) ජවිපෙ මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, එහි ප්‍රධාන ලේකම් නිශාන්ත රණතුංග,හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ,ක්‍රිකට් විධායක කමිටුව,ක්‍රිකට් අතුරු පාලක කමිටුව ආදිය වග උත්තරකරුවන් ලෙස නම්කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.


එයින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා එම ආයතනයේ විධායක අධ්‍යක්ෂ,ප්‍රධාන විධායක නිලධාරී ආදී තනතුරුවලද එක විට වැඩබලා ඇතිවා පමණක් නොව විධායක අධ්‍යක්ෂවරයා විසින් සහභාගි විය යුතු විදෙස් සංචාර සඳහා ඔහු සිටියදීම දේශපාලන හයිය භාවිතා කරමින් සහභාගි වී ඇති බවයි.


එසේම ක්‍රිකට් ආයතනයේ ලේකම් ධූරය දරන අතරේම නිශාන්ත රණතුංග මහතා විසින් මිහින් ලංකා ආයතනයේද ප්‍රධාන නිලයක් දරා ඇති බව හදුන්නෙත්ති මහතා පෙන්වා දුන්නේය.


ක්‍රිකට් ලේකම්වරයා වශයෙන් සිටියදීම පුද්ගලික රූපවාහිනී නාලිකාවකට ක්‍රීඩා විකාශන අයිතිය ලබාදී ඇතිවා පමණක් නොව එකී රූපවාහිනී ආයතනයේද ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කර ඇති බවත්, විකාශන අයිතිය ලබාදීමට එය හේතුවී ඇති බවත් ඔහු සඳහන් කළේය.


මෙම සිද්ධිය පිළිබඳ පාර්ලිමේන්තුයේ පොදු ව්‍යාපාර කාරක සභාවේ පවා සාකච්ඡාවට ලක්ව ඇති බවත්, ක්‍රිකට් වලට රටේ ක්‍රීඩාවට ආදරය කරන සියලු පිරිස් වෙතින් මෙම දූෂිත නිලධාරීන් පිළිබඳ තමන් දන්නා තොරතුරු තමන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.



Post a Comment