කුමාර්ගෙන් කට උත්තර ඉල්ලයි - යළිත් රටින් එළවන්න සූදානම්

‘යහපාලනය‘යයි කීවද මෙම රජයද නීතිය හා බොරු චෝදනා ඉදිරිපත් කොට පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය උදුරා ගනිමින් සිටින බව ශ්‍රී ලංකා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

නව රජය වුවද ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරනතුරු බලා නොසිට එය දිනා ගැනීම සඳහා ජනතාව පෙරට පැමිණිය යුතුව ඇති බව හෙතෙම සඳහන් කළේය.


ඊයේ දිනයේ තම පක්ෂයේ දේශපාලන කමිටු සාමාජික කුමාර් ගුණරත්නම්ට එරෙහිව පැමිණිල්ලක් ඇති බව පවසමින් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් පිරිසක් පැමිණ වහාම ඔහුගෙන් කටඋත්තරයක් ලබාගත යුතුව ඇති බව දැන්වූ බව පුබුදු ජයගොඩ අද දෙරණට කියා සිටියේය.


මෙරටට පැමිණ කළ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ලැබී ඇති බව දන්වා ඇති බවත්, නීති උපදෙස් ලබාගැනීමෙන් අනතුරුව එකී කටඋත්තරය ලබාදීමට කුමාර් ගුණරත්නම් තීරණය කර ඇති බවද ඔහු සඳහන් කළේය.


එසේ වුවද ඉකුත් පාලන සමයේ කුමාර්ට රටින් පිටමංවීමට සිදුවූයේ දේශපාලන කටයුතු කිරීම හේතුවෙන් ජීවිතයට තර්ජන එල්ලවීම නිසා බවත්, යළි වතාවත් නව පාලකයින්ද මෙසේ සැරසෙන්නේ ඔහුගේ දේශපාලන අයිතිවාසිකම් අහිමිකරමින් ඔහු රටින් පළවාහැරීමට බවත් හෙතෙම අවධාරණය කළේය.


එහිදී විවිධ නීති රීති හා අණ පනත් පිළිබඳ ඔවුන් විසින් කරුණු දක්වනු ඇති නමුත් ඉකුත් රෙජිමයේ පාලන සමයේදීද විකල්ප මතධාරීන්, මාධ්‍යවේදීන්, දේශපාලන ක්‍රියාකාරීන් මර්දනය කරනු ලැබුවේද මේ ආකාරයෙන්ම අභූත චෝදනා එල්ල කරමින් විවිධ නීති රීති ඉදිරිපත් කරමින් බව අමතක නොකළ යුතු බවද පුබුදු ජයගොඩ මහතා වැඩිදුරටත් කියා සිටියේය.



Post a Comment