මට මගේ දරුවා ගෙනත් දෙන්න. අපි කියන ඕනෑම දෙයක් දෙන්නම්. අපිට වෙන කිසිම දෙයක් වැඩක් නෑ. අපිට අපේ පුතා විතරයි ඕනේ.
අපි ඇස් දෙක වගේ බලාගත්තු දරුවා අපිට ගෙනල්ලා දෙන්න එයාට කිසිම කරදරයක් කරන්න එපා දෙවියනේ කියමින් පැහැර ගැනීමට ලක්‌වූ දරුවාගේ මව වන එච්. එම්. ශිරෝමි සුදේශිකා හේරත් මහත්මිය හැඬූ කඳුළින් ඉල්ලා සිටියාය.
ඊයේ (30 වැනිදා) අප මීගලෑව කටුගම්පොළ ගමට ගිය අවස්‌ථාවේදී ඒ මව හඬා වැටෙමින් එසේ කියා සිටියේ බිම පෙරළෙමින් හඬමිනි. ප්‍රදේශ වාසීන් විශාල පිරිසක් ද මෙම දරුවාගේ නිවසට පැමිණ සිටි අතර
පොලිස් ආරක්‌ෂාවද නිවසට ලබාදී තිබිණි.
මේ වන විට ප්‍රදේශය පුරා දරුවා සොයා දෙන ලෙස ඉල්ලමින් පෝස්‌ටර් අලවා ඇති අතර ප්‍රදේශවාසීන් හා පොලිසිය දරුවා පිළිබඳව ලැබෙන සෑම තොරතුරක් ඔස්‌සේ දරුවා සොයන අයුරුද දක්‌නට ලැබිණි.
මෙහිදී කතා කළ පැහැර ගැනීමට ලක්‌වූ ධනිඳු යශේන් ලංකානාත් කුමාර ඒකනායක නමැති සිව්හැවිරිදි දරුවාගේ සොයුරිය වන යශෝධරා සඳමිණි කුමාරි ඒකනායක (09) දියණිය මෙසේ කියා සිටියාය.
මම එදා රෑ කාමරයේ පොත් පාඩම් කරමිනුයි හිටියේ. මට සද්දයක් ඇහුණා. මම කාමරයෙන් එළියට ආවා. ඒ එනකොට මම දැක්‌කා හෙල්මට් දාගෙන හිටපු මාමලා අප්පච්චිගේ බෙල්ල කපලා තුවාල කරලා තියෙනවා.
ඊට පස්‌සේ ඒ ගොල්ලො මට පිහිය දික්‌කරද්දී අප්පච්චි මාව අහකට තල්ලු කළා. ඒ හොරු මිදුලට දාලා දොර වැහුවා. ඊට පස්‌සේ මම දැක්‌කා ගේ ඉස්‌සරහ ලයිට් කණුව ගාවින් මල්ලි උස්‌සගෙන අරගෙන යනවා. මල්ලි ඉකි ගස ගසා ඇඬුවා. අනේ මට මගේ මල්ලි නැතුව ඉන්න බෑ. මට එයාව ගෙනල්ලා දෙන්න. මල්ලි නැතුව මට පාළුයි.
සිද්ධිය ඇසින් දුටු කටුගම්පොළ ගම වෙළෙඳ ව්‍යාපාරික ඩබ්ලිව්. එම්. විඡේදාස මහතා - සිද්ධිය වුන වෙලාව හරියට 7.30 පහුවුණා විතරයි. ඒ වෙද්දි කඩය ළඟ රුවන් පුතයි තව දෙතුන් දෙනෙකුයි හිටියා.
එතකොට වැව් කණ්‌ඩිය දිගේ වේගයෙන් ආපු බයික් දෙකක් වංගුව අරගෙන වේගයෙන් ගියා. ඒ එක බයික් එකක අඬ අඬ ළමයෙකුත් ගමන් කළා. රුවන් පුතා කෑ ගැහුවා" ළමයි තියාගෙන ඔහොම වේගයෙන් යන්න එපා කියලා."
ඊට විනාඩි කිහිපයකට පස්‌සේ මෝලේ මහින්ද පුතා (දරුවාගේ පියා) කෑ ගහගෙන මෝටර් බයිසිකලයක ආවා. කඩේ ළඟ හිටපු ළමයි දෙන්නෙක් බයිසිකලේ නැගලා මහින්ද පුතා එක්‌ක ගියා. ඊට පස්‌සේ රුවන් පුතා තමයි පොලිසියට දැනුම් දුන්නේ.
දරුවාගේ සීයා අප සමග මෙසේ කියා සිටියේය.
අපිට වෙන වටින දෙයක් නෑ. මේ දරුවා අපිට ගෙනත් දෙන්න. අපි ඉල්ලන ඕනම දෙයක් දෙන්නම්. දරුවව ගෙනත් දෙන්න. දරුවා හම්බ වුණේ නැත්නම් මම මෙතන මැරිලා යයි.

Put the internet to work for you.
Post a Comment