ලිංගික අල්ලස් ගැනීම් බොරුවක් නොවෙයි - Nadeesha Hemamali

මෙවර පළාත් සභා මැතිවරණ බිමට හා හා පුරා කියා පැමිණි නිළියන් අතරින් නාමයෝජනා ලැබුණේ ඔබට පමණයි. ඊට හේතුව ඔබ විපක්ෂයෙන් තරග බිමට එක්වීම බවයි බොහෝ අය පවසන්නේ?
 මා ඊට එකඟවන්නේ නැහැ. කවර දේශපාලන පක්ෂය වුවත් නාමයෝජනා ලබා දෙන්නේ සුදුසු අයට.නුසුදුස්සන් ඉදිරිපත් කරන්න කවුරුත් කැමති නැහැ. මට නාම යෝජනා ලැබුණේ මා ඊට සුදුසු නිසා. නාම යෝජනා අහිමි වූ අයට එසේ වූයේ ඒ අයගෙ සුදුසුකම් අඩුවීම නිසා වන්නට ඇති.

විපක්ෂයෙන් දේශපාලනයට එක්වී පසු කලෙක ආණ්ඩු පක්ෂයට යාම දේශපාලන මාවතේ කෙටි මගක්..?
මම නම් කිසිම දාක ඔය කෙටි මගට යොමුවන්නේ නැහැ. ඒ කෙටි මග තුළින් ඉදිරියට යන අය ඉන්නවා. මා ඒ අය සමග සංසන්දනය කරන්නවත් මා ඒ අයට සමාන කරන්නවත් එපා. නදීෂා හේමමාලි කියන්නේ කෙළින් වැඩ කරන කෙනෙක්.

ඔබ නිතරම පවසනවා සුබවාදිව ජීවිතය දකින බව. ඒ අනුව මෙවර පළාත් සභා මැතිවරණයෙන් අනිවාර්යයෙන්ම දිනනවා කියලද ඔබ හිතන්නේ?
පැහැදිලිවම ඔව්. ඒ ගැන දැඩි විශ්වාසයක් මා තුළ තිබෙනවා. මම කරන හැමදේම දැඩි ආත්ම විශ්වාසයෙන් යුතුව කරන කෙනෙක්.

ඡන්දයකදී දිනන්න ආත්ම විශ්වාසය පමණක් ප්‍රමාණවත්ද? ජනතා මනාපය ඊට අවශ්‍යයයි නේද?
විශාල ජනතා මනාපයක් මට වගේම අපේ පක්ෂයටත් තිබෙනවා. මෙම රජයේ පාලනයෙන් පීඩා විඳින ජනතාව අප වටා සිටිනවා. මෙම රජය පෙරළන ප්‍රථම වෙඩි මුරය අපි තබන්නේ මෙවර පළාත් සභා මැතිවරණයෙන්.මා කතා කරන්නේ ඔබ නියෝජනය කරන පක්ෂය ගැන නමෛයි. ඔබ ගැන. ජනතා මනාපය ලබාගන්න දේශපාලනය තුළ ඔබ කළ දේ වැදගත්. යම් හෙයකින් ජයගතහොත් කරන්නට බලා‍පොරොත්තු වන දේ ඊටත් වඩා වැදගත්.

මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හැකි ඉක්මනට ජනතාවට ඉදිරිපත් කරන්නට මා බලා‍පොරොත්තු වනවා. මම කියනදේ කරන, කරන දේ කියන කෙනෙක්. ඒ පුරුද්ද මට ඇතිවුණේ දේශපාලනයට පිවිසීමට කලින් ඉඳන්මයි. ජනතාවට හීන පෙන්වීම හා ඉන්පසුව ඒ හීන බිඳ දැමීම කිසිසේත්ම කරන්නේ නැහැ කියන අධිෂ්ඨානය තුළයි මම ඉන්නේ. ඒ හරහා තමයි මගෙ ප්‍රතිපත්ති ගොඩ නැගෙන්නේ.

ඔබේ ප්‍රකාශය අනුව ඔබට ‍පොරොන්දු දෙන්න සිදුවන්නේ කළ හැකි දේ ගැන පමණයි. නිළියක් ලෙස ලද ජනතාආකර්ෂණයෙන් මේ ගමන පැමිණි නදීෂාට කලාව නියෝජනය කරමින් යම් සේවාවක් කළ හැකිවේදැයි යන ගැටලුව මේ මොහොතේ අපට ඇති වෙනවා.

කාලයක් තිස්සේ කලාවේ නිරත කෙනෙකු ලෙස එහි පවත්නා ගැටලු මම දන්නවා. වර්තමානය වන විට කලා ක්ෂේත්‍රයේ ඇතිව ඇති අර්බුද ගැන අවබෝධයක් තියෙනවා. ඒ සියලු ගැටලු විසඳන්න පළාත් සභාව තුළ සිට මට බැරි වේවි. නමුත් ඊට එරෙහිව හඬක් නගන්න මට බලය ලැබේවි.

වර්තමානය වන විට කලාවේ ඇති අර්බුද මොනවාද?
කලාවේ හැම අංශයකම නොයෙක් අර්බුද තියෙනවා. මා වැඩි ජනතා ප්‍රසාදයක් ලැබූ ටෙලි නාට්‍යය කලාව ගැන ගතහොත් අද වනවිට එහි විශාල කඩා වැටීමක් තිබෙනවා. බාල බොළඳ නිර්මාණ බිහිවන්නේ මෙහි නිසි ප්‍රමිතිකරණයක් නොවීම නිසා. කවර නිර්මාණකරුවකු වුවත් නිර්මාණයක් කරන්නේ යම් ලාබයක් ලැබිමේ ච්ෙතනාවෙන්. අද ටෙලි නාට්‍යයක් කළොත් එය පෙන්වා ගැනීමේ අර්බුද රැසක් තියෙනවා.

 මේ පසුබිම තුළ අයථා ක්‍රම මගින් හරසුන් නිර්මාණකරුවන්ට මතුවීමට ඉතාමත් හොඳ ඉඩක් තිබෙනවා. මේ හේතුව මත දවසින් දවස හොඳ නිර්මාණ දුරස්වීමත් හරසුන් නිර්මාණ මතුවීමත්, එහි ප්‍රතිඵලයක් ලෙස ටෙලි නාට්‍යය ක්‍ෂේත්‍රයේ කඩා වැටීමකුත් සිදුවනවා. මේ සියල්ල පිටුපස තියෙන්නේ දේශපාලනය. මා නියෝජනය කරන දේශපාලන පක්ෂය තුළ මෙබඳු හොර බොරු ක්‍රම නැහැ.

අද ටෙලි නාට්‍ය පෙන්වීමට ලිංගික අල්ලස් පවා දීමට සිදුවීම ගැන පසුගිය දිනවල ප්‍රබල කතිකාවක් ගොඩ නැගුණා?
ඒක සත්‍යයක්. ඒ විදියේ දේශපාලන පසුබිමක් අද ගොඩනැගිලා. හරවත් නිර්මාණ කරන අය ඔවැනි දේ තුළින් තම නිර්මාණවලට ඉඩක් ගන්න පෙළඹෙන්නේ නැහැ. හරසුන් නිර්මාණකරුවන් තමයි අඩු මිලට හෝ ඔවැනි අයථා ක්‍රම මගින් හෝ තම නිර්මාණය පෙන්වා ගන්න ඉදිරිපත් වන්නේ.සියල්ලටම වරද මේ පවතින දේශපාලන රටාව බවට ඔබ වක්‍රාකාරයෙන් චෝදනා කරනවා. 

අධ්‍යක්ෂවරුන් නිළියන්ට ලිංගික බලපෑම් කරන බවටත් අද චෝදනා තිබෙනවා. ඒ ගැන මොනවද කියන්න තියෙන්නේ?
කලාවේ විතරක් නමෛයි වෙනත් යම් කිසි ආයතනයක වුවත් නවක ගෑනු ළමයෙක් එන විට එම ආයතනයේ යම් යම් බලවතුන්ගේ බලපෑම්වලට ලක්වීම සිදුවිය හැකියි. ‍පොදුවේ හැමෝම එසේ කළේ නැතත් ඇතැම් අය ඊට පෙළඹෙනවා. ඒ ඔවුන්ගේ පෞද්ගලික ගුණාංගවල තියෙන වැරදි.

එසේ කියමින් මේ ගැටලුව සුළුකොට තැකිය හැකිද? නවක නිළියන්ට වගේම ඔබ කියන ලෙසින් ඕනෑම ක්‍ෂේත්‍රයක නවක යුවතියන්ට මෙය බලවත් අසාධාරණයක්?
අද අපේ රටේ කාම අපරාධ, බාලඅපචාර නිතර අසන්නට ලැබෙනවා. ඊට අමතරව නොයෙක් හිංසාවන්ට ගොදුරු වූ අය ගැන පුවත් ඇසෙනවා. ඒ වගේම ඔබ ඔය කී විදිහට ක්‍ෂේත්‍රයන්ට එන නවක ගැහැනු
ළමුන්ට බලපෑම් තියෙනවා. මේ හැමදේටම හේතුව මෙකී හිංසනයන්, පිඩනයන් සිදුකරන අයගේ මනෝභාවයයි. ඒ අය දැඩි පීඩනයකින් සිටින නිසයි තවත් අය හිංසනයට ලක් කරන්නේ. ඒ තුළින් ඔවුන් තමන්ගේ මානසික පීඩනය, අසහනය පිට කරගන්න හදනවා.

 ඒ පීඩනයට, අසහනයට හේතුව මේ පවතින සමාජ රටාවයි. අද තිබෙන්නේ එක පවුලක් වටා බලය ඒකරාශී වූ ඒකාධිපති රජයක්. ඉතින් රටේ සාමාන්‍ය ජනතාව ඉන්නේ දැඩි පීඩනයකින්. ඒ හින්දයි මේ හැමදේම වන්නේ. ඒ පීඩනය තුරන් වී ගියොත් මේ අපරාධ බොහෝ දුරට අවම කරගත හැකියි.

ඔබ අපූරු තර්ක තුළින් මේ සියල්ලම ආණ්ඩුවේ ගිණුමට බැර කරනවා. එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩු තිබුණු කාලවල ඔය කිසි ප්‍රශ්නයක් තිබුණෙ නැහැ කියලද ඔබ කියන්නෙ?
අඩු වැඩි වශයෙන් ප්‍රශ්න තිබුණු බව මා පිළිගන්නවා. මා දන්නා පරිදි මට මතක පරිදි එක්සත් ජාතික පක්ෂ රජය 2002 සිට 2004 දක්වා පාලනය කළ කාලයේ ජනතාව මීට වඩා සතුටින් සිටියා. ඒකාධිපති පාලනයක් තිබෙන තැනක ජනතාව පීඩනයට පත්වනවා. ඒක ඕනෑම රටකට ‍පොදුයි. අද අපේ රටේ තිබෙන්නේ ඒ විදියේ ජීවිත, සමාජ පසුබිමක්.

ආරියවංශ කුලතිලක
http://ift.tt/OLLv1Y

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment