66 වැනි නිදහස්‌ සමරුව අද - 66th Independence Day

ශ්‍රී ලංකාවේ 66 වැනි නිදහස්‌ උළෙල අද (4දා) මහත් අභිමානයෙන් යුක්‌තව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ලේ නිදහස්‌ මාවතේදී පැවැත්වේ.ආරක්‍ෂක හමුදා නිලධාරීන් 2300 කට අධික පිරිසක්‌ සහභාගි වන ආචාර පෙළපාලියක්‌ද ඊට අයත් වේ.

යුද හමුදා නිලධාරීන් සහ භටයන් 1400 ක්‌ නාවික හමුදා භටයන් 250 ක්‌ ගුවන් හමුදා භටයන් 250 ක්‌ පොලිස්‌ භටයන් 250 ක්‌ සහ සිවිල් ආරක්‍ෂක භටයන් 250 ක්‌ ඊට සහභාගි වෙති. මේ හැර කැඩෙට්‌ භටයන් 325 ක්‌ ද තරුණ බළකායේ භටයන් 300 ක්‌ද එකී ආචාර පෙළපාලියේ ගමන් කරනු ඇත.

කෑගල්ල ප්‍රදේශයේ පාසල් සිසුන් 110 ක්‌ ජාතික ගීයද තවත් සිසුන් 25 ක්‌ ජයමංගල ගාථාද ගායනා කරනු ඇත.මෙම නිදහස්‌ උළෙලට යුධ හමුදා රථ හා වෙනත් ප්‍රහාරක රථද එක්‌වේ.66 වැනි නිදහස්‌ දින උළෙලට රජයේ ඇමැතිවරු විදේශ තානාපතිවරු හා වෙනත් සම්භාවනීය අමුත්තන්ද සහභාගී වෙති.

නිදහස්‌ දින පණිවිඩ


ජනාධිපති පණිවිඩය 
බෙදුම්වාදී ත්‍රස්‌තවාදය පරාජය කිරීමෙන් පසු නව ශක්‌තියක්‌ ලැබුවා වූ අප ස්‌වාධීන දේශය ප්‍රගතිය දෙසට යන ගමන වේගවත්වී ඇති බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා 66 වැනි නිදහස්‌ දින පණිවිඩය නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.

එහි මෙසේ ද සඳහන් වේ.

66 වැනි නිදහස්‌ සංවත්සරය පවත්වන මේ අවස්‌ථාවේදී අප ස්‌වාධීනත්වයත් යළි නැගී සිටින නව යටත් විජිතවාදයේ බලපෑම්වලට අවනත නොවී අනාගතය තීන්දු කිරීමට ඇති ජනතා අයිතියත් සුරැකීමට යළි ප්‍රතිඥා දෙන්නෙමු.

බෙදුම්වාදී ත්‍රස්‌තවාදය පරාජය කිරීමෙන් පසු නව ශක්‌තියක්‌ ලැබූ අප ස්‌වාධීන දේශය දැන් ප්‍රගතිය දෙසට ගමන වේගවත් කර ඇත. අප ඉලක්‌කයන් සපුරා ගැනීම සඳහා නව සමාජයීය, දේශපාලන සහ ආර්ථික ක්‍රමවේදයන් මෙන්ම වරාය, ගුවන්තොටුපොළ, මහා මාර්ග, විදුලිබලය සහ බලශක්‌ති යනාදී යටිතල පහසුකම් ද කර්මාන්ත, වාණිජ, වෙළෙඳ අධ්‍යාපන යන ක්‌ෂේත්‍රයන්හි නවීන තාක්‌ෂණ කුසලතා නංවාලීම ද අප ප්‍රගතිය උදෙසා අත්‍යවශ්‍යය. එයින් බොහෝමයක්‌ දැනටමත් ස්‌ථාපිත කර ඇති අතර අභියෝගයන්ට සාර්ථකව මුහුණදීම සඳහා තව බොහෝ දේ ජයගත යුතුව ඇත.

අතීතයේ ලත් ශ්‍රී විභූතිය යළි සාක්‌ෂාත් කර ගැනීමටත්, ඉදිරි ජයග්‍රහණයන් සාර්ථක කර ගැනීමටත් එමගින් ස්‌වාධීනත්වය සවිමත් කිරීමටත් ඇති හොඳම මාවත දේශීය දැනුම සහ හැකියාවන් වර්ධනය කර ගැනීම බව අපේ විශ්වාසයයි.

නිදහස සමරන මේ අවස්‌ථාවේදී අප මව්බිමේ ස්‌වෛරීත්වයට සහ ජාතික ඒකාග්‍රතාවයට බලගතු තර්ජන එල්ලවූ අවස්‌ථාවන්හිදී ධෛර්යයෙන් යුතුව එයට මුහුණදුන් වීරෝදාර රණවිරුවන් කෘතඥතා පූර්වකව සිහිපත් කරමු. අප එක්‌සත්ව සහ නිදහස්‌ව දිවි ගෙවිය හැකි බව ජීවිsත පරිත්‍යාගයෙන් සහතික කළ රණවිරුවන්ට අපේ මහත් ගෞරවය හිමි වේ.

ඔබගේත් මගේත් සිහිනය නම් ශ්‍රී ලංකාව එක ධජයක්‌ යටතේ එක රටක්‌ ලෙස නැගී සිටිනු දැකීමය. මේ සඳහා අපි ධෛර්යයෙන් අවංකම වෙහෙසී ක්‍රියා කළ යුතුය. ඒ සඳහා අපට භූගෝලීය හා වාර්ගික සීමාවන් තරණය කළ දේශප්‍රේමිත්වයක්‌ සහ එක්‌සත් හා සවිමත් සංහිඳියාවක්‌ අවශ්‍ය වෙයි.

ප්‍රෙෘඪ අතීතයේ උද්වේගයෙන් සහ නූතන ජයග්‍රහණයන්ගෙන් ලද ශක්‌තිය තුළින් සාමයෙන් සහ සංහිඳියාවෙන් දිවි ගෙවිය හැකි දේශයක්‌ අප අනාගත පරම්පරාවට දායාද කිරීමට එමගින් සවිමත් පදනමක්‌ දැමිය හැක. අප දිනාගත් සාමය හා නිදහස තුළින් අපේ දේශය හා ජනතාව උදෙසා එබඳු අනාගතයක්‌ ගොඩනැගීමට අප එක්‌ව ප්‍රතිඥා දෙමු.

අපේ රටේ සියලු ආගම් අදහන, විවිධ භාෂාවන් කතා කරන සියල්ලන් තුළ සිය සංස්‌කෘතික උරුමයන්ට ගරු කරමින් සමගි සම්පන්න ජාතියක්‌ ලෙස අප සංවර්ධන ප්‍රවේශයකටත්, සංහිඳියාවකටත් දැන් පැමිණ ඇත. ස්‌වභාවික මෙන්ම මිනිසුන් විසින් ඇති කළ ආපදාවන් ඉතා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඉතා කෙටි කලක්‌ තුළ විස¹ගත් තවත් රටක්‌ නැති තරම් යෑයි කියන්න අප ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ අපේ සමාජය විසින්ම අපේම විසඳුම් සෙවීමට තැබූ විශ්වාසය නිසා ලැබූ ප්‍රගතියයි. කෙතරම් බාධාවන් ඇති වුවත් අපේ සමාජ උරුමයන්ට ගරු කළ යුත්තේ තිරසාර සමාජයක්‌, සමෘද්ධියත්, ප්‍රජාතන්ත්‍රවාදයත් තහවුරු කර ගත හැක්‌කේ එවන් මගකින් පමණක්‌ බැවිනි.

සියලු රටවල් අපගේ මෙම ප්‍රජාතන්ත්‍රවාදී ගමන් මඟත්, සියලු දෙනා අන්තර්ගත සංවර්ධන ප්‍රවේශයත්, අපේ රටේ ජාතික නිදහසත්, මානුෂික අයිතියත් තව තවත් තහවුරු කිරීමට අප සමඟ අත්වැල් බැඳ ගන්නා ලෙස ද මම මෙම උදාර නිදහස්‌ දිනයේ ඉල්ලනවා.


විපක්‍ෂ නායක පණිවිඩය

වත්මන් අන්ධකාරයෙන් දේශය මුදවා රටේ ජනතාවට වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම නිදහස යළි භුක්‌ති විඳීමට අවස්‌ථාව ලබා දීම මූලික අභිප්‍රාය යෑයි විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිය නිදහස්‌ දින පණිවිඩයෙන් කියා සිටී. 

එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

යටත් විජිත භාවයෙන් රට මුදවා ගෙන රටට නිදහස ලබා දීමට කටයුතු කළ එක්‌සත් ජාතික පක්‍ෂයට එම නිදහස ආරක්‍ෂා කිරීමේ වගකීම ද පැවරී තිබේ.

අද ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් හා හිමිකම් දැවැන්ත මර්දනයකට ලක්‌ වෙමින් පවතී. නිදහස්‌ අධ්‍යාපනය හා නිදහස්‌ සෞඛ්‍ය හුදු නාම පුවරු බවට පත් වී හමාරය. අධිපතිවාදය හා පවුල්වාදය මුළු රටම වසාගත් රුදුරු අන්ධකාරයක්‌ සේ පැතිරෙමින් පවතී. මේ අන්ධකාරයෙන් දේශය මුදා ගෙන රටේ ජනතාවට වචනයේ පරිසමාප්ථාර්ථයෙන්ම නිදහස යළි භුක්‌ති විඳීමට ලබා දීම අප සැමගේ මූලික අභිප්‍රායයි. ඒ අභිප්‍රාය ඉටු කර ගැනීම අසීරු අභියෝගයකි. 

එහෙත් 1948 වසරේ අප ලැබූ නිදහස යළි තහවුරු කරලීමේ වෑයමට එක්‌ වී ඒ අභියෝගය ජයගන්නට මේ නිදහස්‌ දිනයේ අදිටන් කර ගනිමු.



IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment