මේ රටේ මිනිස්සු දේශපාලනය කරන්නේ හරිම ගොන් විදියට- හඩ්සන්

  • මේ රටේ මිනිස්සු දේශපාලනය කරන්නේ හරිම ගොන් විදියට
  • සත පහකට වැඩක් නැති මිනිස්සු ගුවන්විදුලියේ 500ක් ඉන්නවා. 
  • මට ගෙවන්නේ 51,000යි. ඒත් රූපවාහිනී සංස්ථාවේ සභාපතිට 90,000ක් ගෙවනවා
  • සිගරට් එකක් නම් කවදාකවත් බීලා නැහැ
එදා රණසිංහ ප්‍රේමාදාස යුගයේ පුංචි ප්‍රේමදාස ලෙස හැඳින්වූ හඩ්සන් සමරසිංහ අද ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිවරයාය.

කුමන ආණ්ඩුව ආවත් එම ආණ්ඩුවේ ගුවන්විදුලි සංස්ථා සභාපතිවීමේ රහස ලෙස ඔහු පවසන්නේ මේ රටේ මිනිස්සු දේශපාලනය කරන්නේ හරිම ගොන් විදියට දේශපාලනය හිස මුදුනේ තියාගෙන බවත්, ඔහු එසේ නොවීම මෙලෙස සෑම ආණ්ඩුවේම ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිවරයා වීමට හේතුව බවත්ය.


ඔබ එන එන ආණ්ඩුවේ ගුවන්විදුලි සංස්ථා සභාපති. එහෙම වෙන්නේ කොහොමද?
අපේ රටේ මිනිස්සු දේශපාලනය කරන්නේ හරිම ගොන් විදියට. දේශපාලනය හිස මුදුනේ තියාගෙනයි වැඩ කරන්නේ. මගේ ප්‍රශ්නය ශ්‍රී ලංකා ද යූ.එන්.පී. ද, සමසමාජ ද කියන එක නෙමෙයි. මට වැඩ කරන්න අවස්ථාව ලැබුණොත් මං ඒ වැඩේ හරියට කරනවා. මට පක්ෂ, පාට වැදගත් නැහැ.

ඔබ වරක් ඡන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තුවටත් ගියා නේද?
ඒක තමයි මම ජීවිතේ කරපු ලොකුම ගොන්කම. පාර්ලිමේන්තු නොගිහින් හිටියා නම් මීට වඩා හොඳ වැඩක් කරන්න තිබුණා. ඒකෙන් මට සත පහක වැඩක් වුණෙත් නැහැ; රටට වැඩක් වුණෙත් නැහැ.

ඡන්දේ ඉල්ලන කාලේ ඔබව හැඳින්වුණේ "පුංචි ප්‍රේමදාස" කියලා?
ඒක තිබ්බෙ පෝස්ටර් එ‍කකනේ.

ඒ දවස්වල ඔබව ඝාතනය කරන්නත් ප්ලෑන් තිබුණා?
සොත්ති උපාලි ආවනේ මාව මරන්න. මට බෝම්බ ගැහැව්වා‍. වෙඩි තිබ්බා. ඒත් හරි ගියේ නැහැ. ඒක පක්ෂය ඇතුළෙන් ම කරපු දෙයක්. මනාප ඡන්ද ක්‍රමයේ බියකරු පැත්ත තමයි ඒ‍. මම ඇමෙරිකාවට පලා ගියේ ඊට පස්සේ. ඔක්කොටම කලින් පණ බේරගෙන ඉන්න එපැයි.

ඇමෙරිකාවේ ගිහින් මොනවද කළේ?
ඉගෙන ගත්තා. පාට් ටයිම් ජොබ් එකක් විදිහට හෝටලයක වැඩ කළා. වයිට් හවුස් එක ළඟ තියෙන මැඩිසන් හෝටලයේ. එතැනට යසර් අර්ෆත් වගේ දේශපාලනඥයෝ, එලිසබෙත් ටේලර් වැනි හොලිවුඩ් නිළියෝ ආපු ගියපු තැනක්.

මේ ඔබ ගුවන් විදුලියේ සභාපති වෙලා ඉන්න තුන්වැනි වතාව?
මේක දියුණු කරන්න මම නොගන්න ‍උත්සාහයක් නැහැ. තවමත් අපිට ලාබ ලබනවා කියලා ලොකු ‍බෙරයක් ගහන්න බැහැ. මං මෙතැන්ට ආපු දවස්වල මහ දවල් ලයිට් කපනවා. මොකද ලයිට් බිල් ගෙවල නැහැ. පඩි ගෙවන්න සල්ලි නැහැ. අවුරුදු ගාණක අර්ථ සාධක මුදල් ගෙවලා නැහැ.

ඒ කියන්නේ තවමත් යැපෙන්නේ මහා භාණ්ඩාගාරයෙන්?
ලයිසන් එක නැති කරන කොට අපිට මහා භාණ්ඩාගාරයෙන් මුදල් ගෙව්වා. අපි ඒකට 28% ක බදු ගෙවනවා. අද ආයතනයේ තත්ත්වය දිහා බලන කොට මේක පවත්වගෙන යන එක ලේසි දෙයක් නෙමෙයි. හාර පන්සීයක් ඉන්නව. වැඩක් නැති මිනිස්සු. සත පහකට වැඩක් නොකරන අය. උදේට ඇවිත් ටෙලිෆෝන් එකෙන් කතා කර කර ඉඳලා හවසට ගෙදර යනවා.

ගුවන්විදුලිය පිරිහුණේ පෞද්ගලික ගුවන් විදුලි නාළිකා ආපු නිසා ද?‍
නැහැ. හිටපු පාලකයෝ තමයි මේකට වගකියන්න ඕන. ඕනෑම ඇමැති කෙනකු කතා කළාම '‍යෙස් සිර්' කියලා මිනිස්සු ජොබ්වලට දානවා. මම නම් මොනම ඇමැති කෙනෙකුටවත් ' ‍යෙස් සිර්' කියන්නෙත් නැහැ. කාවත් වැඩට ගන්නෙත් නැහැ. ඒ නිසා ඔය හුඟ දෙනෙක් තරහයි මාත්තෙක්ක.

ඔබටත් ලොකු වැටුපක් ගෙවන්න ගියාම එතැනටත් සෑහෙන වියදමක් යනව ඇති.
මොන? ලංකාවේ සංස්ථා සභාපතිවරුන්ගෙන් අඩුම පඩිය හම්බුවෙන්නෙ මට. මට ගෙවන්නෙ 51 දාහයි. 9 දාහක් බදු කියලා කපනවා. මොනවට කපනවද දන්නේ නැහැ. රූපවාහිනී සංස්ථා සභාපතිට මටත් වඩා පඩි වැඩියි. මිනිහට 90 දහක් ගෙවනවා.

ඔබ ‍උදේට ඉදිරිපත් කරන වැඩසටහනට කවුරුත් බණිනවනේ?
බැන්නට අත හරින්නෙ නැතුව අහනවනේ. මගේ වචන සැර වැඩියි. අපේ රටේ මිනිස්සුන්ට තේරෙන භාෂාවෙන් කතා කරන්න ඕනෑ. ප්‍රශස්ති ගායනා කරලා වැඩක් නැහැ. මේ පුටුවෙ ඉඳන් මම ජනාධිපතිතුමාවත් විවේචනය කරනවා. ජනාධිපතිතුමා මාරක ළි‍ඳේ බයිසිකල් පදිනවා සැන්ඩෝ වගේ. ඇමැතිවරු උඩ ඉඳන් ටිකට් කඩනවා. මං ඒ වගේ දේවල් කියනවා. එහෙම කියන්නත් කොන්දක් තියෙන්න ඕනෑ. මට මේවයේ එල්ලිලා ඉන්න ආශාවක් නැහැ. ඕනෑ වෙලාවක මගේ මේසේ ලාච්චු අස් කරලයි තියෙන්නේ.

අඩි පුඩි එහෙම ගහනවද?
ඉස්සර නම් බිව්වා. දැන් නම් කටේ තියන්නේ නැහැ.

ඒ කියන්නේ සමහර අය වගේ එකපාරට උගුරට හලා ගන්නවද?
නැහැ බොන්නේ නැහැ. සිගරට් එකක් නම් කවදාකවත් බීලා නැහැ.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment