ජාත්‍යන්තර මත්කුඩු ජාවාරමේ තිප්‍පොළක් දකුණෙන් අල්ලයි

මෙරට සිට මැදපෙරදිගට හෙරොයින් බෙදා හැරීමේ ජාවාරම දකුණු පළාත ආශ්‍රිතව ක්‍රියාත්මක වන බවත් එය මෙහෙයවන්නේ ඉතාලියේ සිටින දකුණේ පාතාල ප්‍රබලයකු වන රත්ගම විදුර බවටත් ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් කර ඇති විමර්ශනයකදී අනාවරණය වී තිබේ.

එසේ මැදපෙරදිගට යැවීමට සූදානම් කර තිබූ රුපියල් කෝටි හයක් පමණ වටිනා හෙරොයින් කිලෝ 10 ක් හික්කඩුව ප්‍රදේශයේ දී සැකකරුවන් තුන් දෙනෙකු සමග පසුගියදා අත් අඩංගුවට ගැනීමට ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ‍පොලිස් පරීක්ෂක රංගජීව ඇතුළු කණ්ඩායමක් සමත්ව ඇත. 

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කෝටිපතියෙකු සිටින බවත් ඔහු බස් රථ ව්‍යාපාරිකයකු ලෙස පෙනී සිටින බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.රුපියල් ලක්ෂ අටසියයක පමණ වත්කමක් ඔහුගේ පෙනෙන්නට ඇති අතර ඊට අමතරව නොපෙනෙන වත්කම් තිබෙන බවත් ‍පොලීසිය විශ්වාස කරයි.
මුහුදු මාර්ග ඔස්සේ හෙරොයින් දකුණු වෙරළ තීරයට රැගෙන විත් හික්කඩුවේ සඟවා බෙදාහැරීම් කරන බව අනාවරණය වී තිබේ.


ඉන්දියාවේ සිට වරකට ගෙන එන (හෙරොයින්) ප්‍රමාණය කිලෝ 500 ක් වන බව මතෛක් කරන ලද විමර්ශනවලින් හෙළි වී තිබේ.

මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් දකුණේ සිටින දේශපාලනඥයන් ‍පොලීසියේ ඉහළ නිලධාරින් සමග හිතවත්කම් පවත්වමින් මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බව පෙනී ගොස් තිබේ. 

දීර්ඝ කාලයක් තිස්සේ හොර රහසේ කරගෙන ගිය මෙම ජාවාරම ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට පවා අනාවරණය කරගැනීමට හැකිවන්නේ නොවැම්බර් 5 දා මෙරට සිට හෙරොයින් කිලෝ තිහක් රැගෙන ඩුබායි බලා යාමට සූදානමින් කටුනායක ගුවන් තොටුපළට ඇතුළු වූ ලයිබිරියානු ජාතිකයකු ගුවන් තොටුපළ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබ ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට භාරදීමෙන් පසු කළ විමර්ශනවලදී ඔහුට එම හෙරොයින් තොගය ලබා දී තිබුණේ පානදුරේ පදිංචි කෝටිපතියෙකි.

එම පුද්ගලයා සිය අනියම් බිරිඳත් සමග රටින් පිටවීමට බණ්ඩාරනායක ගුවන් තොටුපළට යමින් සිටියදී මීගමුව ප්‍රදේශයේ දී ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් ඉකුත් සතියේදී අත්අඩංගුවට ගනු ලැබුණි.

ඔහුගෙන් දීර්ඝ ලෙස කෙරුණු ප්‍රශ්න කිරීම්වලදී මෙරට සිට මැද පෙරදිගට හෙරොයින් ගෙන යන ජාවාරම අනාවරණය වී තිබෙන අතර ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ නිලධාරීන් ඉකුත් 13 දා රාත්‍රියේ හික්කඩුව ප්‍රදේශය ආශ්‍රිතව කළ වැටලීමේ දී සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ජාවාරම පිටුපස සිටින සෙසු පිරිස කොටුකර ගැනීමට මේ වන විට පරීක්ෂණයක් ක්‍රියාත්මකය. 

‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂ ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරි කමල් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ‍පොලිස් පරීක්ෂක රංගජීව මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.

ගයාන් කුමාර වීරසිංහ / අජිත් පුෂ්ප කුමාර

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment