CHOGM කොළඹ වරාය අසල මුහුද ගොඩකරමින් නගරයක් තනන්න චීනය හා ගිවිසුමක

පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට සමගාමීව කොළඹ වරාය අසල මුහුද ගොඩකරමින් නගරයක් නිර්මාණය කිරීමට අදාල ගිවිසිමකට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය අත්සන් තබන බව වාර්තා වේ. මෙම ගිවිසුම චීන සමාගමක් වන චයිනා කොමියුනිකේෂන්ස් කන්ස්ට්‍රක්ෂන් සමාගම සමග අත්සන් කරන අතර එහි වටිනාකම ඩොලර් බිලියන 1.3 ක් බවද පැවසේ. 

මේ සමුළුව අතරතුර ශ්‍රී ලංකාව ආයෝජකයින් සමග ඩොලර් බිලියන 2.0 ක පමණ දේපොළ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් අත්සන් තැබීමට නියමිතව ඇති බවත් ඒ සඳහා බදු සහන ලබාදෙන බවත් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා හෙළිකර තිබේ. මේ අනුව, ඩොලර් මිලියන 250 ක වියදමකින් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට තවත් චීන සමාගමක් වන AVIC International Engineering (Hong Kong) Ltd සහ Nice View Apartments of Hong Kong විසින් රජය සමග ගිවිසුම් අත්සන් කිරීමට නියමිත බවද පැවසේ. 

මෙම ව්‍යාපෘතිය කොළඹ ආර්.ඒ.ද. මෙල් මාවතේ ඉඩමක සිදුකරන අතර එහි තට්ටු නිවාස 539 ක් ඇතුළු මිශ්‍ර සංවර්ධන පහසුකම් ගොඩ නැගීමට නියමිතය. ඊට අමතරව, කොළඹ ජේම්ස් පීරිස් මාවතේ ඩොලර් මිලියන 450 ක ආයෝජනයකින් සිදුකිරීමට යන ව්‍යාපෘතියක් සදහා ඕස්ට්‍රේලියාවේ Property Alliance Capital (Pte) Ltd සමග ගිවිසුමක් අත්සන් කෙරේ. 

අදාල සමාගමට එම ඉඩම ලබාදී ඇත්තේ 99 අවුරුද්දේ බදු ගිවිසුමක් මත නාගරික සංවර්ධන අධිකාරිය විසිනි. මෙම ව්‍යාපෘති සඳහා උපාය මාර්ගික සංවර්ධන පනතට අනුව බදු සහන හිමි වන බවද මේ අතර වාර්තා වේ. මේ අතර, කොළඹ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සමුළුවේදී හම්බන්තොට හා කටුනායක ඩොලර් මිලියන 500 කට වඩා වැඩි ආයෝජනයකින් ගොල්ෆ් ක්‍රීඩා පිටියක් සහ හෝටල් දෙකක් ඉදිකිරීමට චයිනා හාබර් ඉංජිනියරිං සමාගම ගිවිසුමක් අත්සන් කර ඇති බවද පැවසේ. 

මත්තල ඉදිකරන කාමර 250 කින් යුතු හෝටලයේ ගොල්ෆ් ක්‍රීඩා පිටිය ගොඩ නගන බව ගුවන් තොටුපොළ සහ සිවිල් ගුවන් සේවා සමාගමේ විධායක අධ්‍යක්ෂ ජොහාන් ජයරත්න මාධ්‍යට පවසා තිබිනි. මීට අමතරව, මෙහි බදු රහිත සාප්පු සංකීර්ණයක් ඉදිකිරීමටද සැලසුම් කර ඇතැයි පැවසේ. මෙම ගිවිසුම යටතේ කටුනායක ඉදිකරන කාමර 200 කින් යුතු හෝටලයේ වාහන 1000 ක් පමණ ගාල් කළ හැකි රථවාහන අංගනයක් සහ බදු රහිත සාප්පු පහසුකම් ගොඩ නැගීමට සැලසුම් කර ඇත.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment