අපි හැමෝම ජීවත්වෙන්නේ ආදරය අහිමි වුණ සමාජයක..................ජයන්ත චන්ද්‍රසිරි සමනළ සංවනිය ගැන කතා කරයි



ආචාර්ය නෝබට් ජේ. මයර් නමැති බටහිර ජර්මානු රූපණ විශේෂඥයා යටතේ සහ නැගෙනහිර ජර්මනියේ ආචාර්ය ක්ලාවුස් ෆිඩ්ලර් යටතේ රූපණය විෂයයක් වශයෙන් හදාල ජයන්ත චන්ද්‍රසිරි තම ප්‍රියතම විෂය වූ රූපණය අතහැර අධ්‍යක්ෂණය තෝරා ගත්තේය.

සරස්වතී, අත්, මෝරා, ඔත්තුකාරයා යන වේදිකා නාට්‍යද, වෙදහාමිනේ, වෙස් මුහුණ, දඬුබස්නාමානය, අකාල සන්ධ්‍යා, රැජන, සහ සතර දෙනෙක් සෙන්පතියෝ යන ටෙලි නාට්‍යයන්ද අග්නිදාහය, ගරිල්ලා මාකටිං සහ සමනළ සංවනිය යන චිත්‍රපටද නිර්මාණය කළ හෙතෙම පසුගිය කේරළ අන්තර්ජාතික චිත්‍රපට උළෙ‍ලේ නෙට්පැක් ජූරියද නියෝජනය කළේය.



ඔබේ පරපුරේ සිනමාකරුවෙකු වන අශෝක හඳගම පසුගියදා සිනමාව ගැන ලියවුණු ‍පොතක පසුවදනක් සඳහා මෙවැනි ප්‍රකාශයක් කර තිබුණා. ඉන් මූලික වශයෙන් කියවුණේ ඔවුන්ගේ පරපුර සිනමාව පිළිබඳව සිහින මවන කාලයේ සිනමාව සද්දන්ත එකක් වූ නමුත් ඔවුන් සිනමාකරුවන් බවට පත්වන විට එතැන ලොකු හිඩැසක් ඇතිවී තිබෙන බවත්, තමන්ගේ පරපුරට ඒ හිඩැස පිරවීම සඳහා නොනැසුණු අනුරාගයකින් කටයුතු කරන්නට සිදුවී ඇති බවත්ය. ඒ පරපුරේ සිනමාකරුවෙකු ලෙස ඔබත් මේ මෙම අභියෝගයට මුහුණ දෙන තුන්වන අවස්ථාව. මේ නිර්භීතකම පැහැදිලි කරන්න.



හඳගමගේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සත්‍යයක්. මමත් සිනමාව කෙරෙහි නොනැසුණු අනුරාගයක් සහිත මිනිසුන්ගෙන් කෙනෙක්. නමුත් සිනමාවට හෝ ටෙලි නාට්‍ය කලාවට හෝ වේදිකා නාට්‍යය යන කාරණා අරභයා මගේ පිවිසීම සිදුවන්නේ හුදු නාට්‍යයක්, ටෙලි නාට්‍යයක් හෝ සිනමාකෘතියක් කිරීමේ අභිප්‍රායයෙන්ම නොවෙයි.



එසේ නම් ඔබේ අභිප්‍රාය වුණේ මොකක්ද?



ඒ තමයි මගේ ප්‍රකාශනය ඉදිරිපත් කිරීමේ අරමුණ. මට හැමදාම ප්‍රකාශ කරන්නට දෙයක් තිබුණා. ඒ ප්‍රකාශය ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් වශයෙන් තමයි මම එකී මාධ්‍යයන්ට පිවිසෙන්නේ. ඉතා සරලව කියනව නම් මම යමක් කරන්න ඇවිල්ල ඉන්නෙ මට පෑරුණු තැනකින්. මට දැනිච්ච තැනකින්. මම සිනමාවට ඒමට පෙර තෝරාගත් වේදිකා නාට්‍ය කලාවේත්, ටෙලි නාට්‍ය කලාවේත් ඒක සාර්ථක වුණා. අනතුරුව සිනමාවේදීත් මට එය ජය ගැනීමට හැකි වුණා.



නමුත් සිනමාව පෙර කී මාධ්‍යයන් දෙකටම වඩා ප්‍රාග්ධනය පදනම කරගත් තැනක්?



ඒක සත්‍යයක්. සිනමාවට එනකොට ඔබ කියන ප්‍රශ්නය පැන නගිනවා. දැවැන්ත කර්මාන්තමය පදනමක් තිබෙන මේ මහා මාධ්‍යය ඇතුළේ වැඩකිරීම අර මා කියූ ප්‍රකාශනය පිළිබඳ හැඟීම තිබූ පමණින් කරන්නට බැහැ. එකක් තමයි මතෛන්ට ඇවිල්ල කෙනෙක් අසාර්ථක වුණොත් ඔහුට වාගේම අර්ථපතියාටත් ලොකු ප්‍රශ්නයක් ඇතිවීම. අප කලින් සඳහන් කළ මාධ්‍යවලත් අසාර්ථකවීමක් සිදුවුණොත් ප්‍රශ්නයක් තමයි. නමුත් සිනමාවේදී ඒ තත්ත්වය භයානකයි. ඒක කෙළින්ම කට උත්තර නැති වෙන තත්ත්වයක්.



ඔබේ පළමුවෙනි චිත්‍රපටය වන අග්නිදාහය තුළින් ඔබට එය ජයගත හැකි වුණාද?



ඔව් මම එය ඉතාම ඉහළින් ජයගත්තා. එය කලාකෘතියක් ලෙසත්, වාණිජ වශයෙනුත් සාර්ථක වුණා. සිනමාකරුවෙකුගේ පළමුවෙනි නිර්මාණය, චිත්‍රපටය සාර්ථකවීම මේ කියන පසුබිම යටතේ ලොකු ජයග්‍රහණයක්.



ඔබේ පළමුවෙනි චිත්‍රපටයේදී යෙදූ ප්‍රාග්ධනය ගැන බියක් ඇති වුණේ නැද්ද?



ඇති වුණත් එය විශාල බියක් වුණේ නැහැ. තිස්ස අබේසේකර නමැති ශ්‍රේෂ්ඨ මිනිසා, ශ්‍රේෂ්ඨ නිර්මාණකරුවා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් මා ඇතුළු තවත් තෝරාගත් අධ්‍යක්ෂවරුන් ගණනාවකට ණය ලබාදී නිෂ්පාදකවරුන් බවට පත් කළා. ඔහු නොසිටින්නට මා කිසි දිනක ෆිල්ම්සිනමාකරුවෙකු නොවන්නට ඉඩ තිබුණා. කලින් සඳහන් කළාක් මෙන් මම එම අභියෝගය ජයගත්තා. මගේ වෑයම සාර්ථක වුණා. ඒ නිසා මට අර්ථපතියන් පිළිබඳ ප්‍රශ්නයක් ඊළඟට ඇති වුණේ නැහැ. හැබැයි එවැනි තත්ත්වයක් යටතේ වුණත් මම චිත්‍රපට හැදීම චක්‍රයක් කර ගත්ත කෙනෙක් නමෛයි. මම ගරිල්ලා මාකටිං චිත්‍රපටයෙන් පසුවයි මේ චිත්‍රපටය කරන්නෙ. කාලය වශයෙන් සලකා බැලුවොත් ඒක සෑහෙන්න දීර්ඝ කාලයක්.



ඔබ මහරජ දුටුගැමුණු නමින් චිත්‍රපටයක් තැනීමටත් සූදානම් වුණා නේද?



ඇත්තෙන්ම මම මේ මොහොතේ නිර්මාණය කිරීමට බලා‍පොරොත්තුව සිටියේ මහරජ දුටු ගැමුණු චිත්‍රපටයයි. මම ඒ සඳහා දීර්ඝ කාලයක් ගවේෂණ කටයුතුවල යෙදුණා.



ඇයි මහරජ දුටුගැමුණු නැවතුණේ?



සාමාන්‍යයෙන් සිනමා ක්‍ෂේත්‍රයේදී සිදුවන පරිදි අර්ථපතියන් කීපදෙනෙකු ආවා ගියා. සාර්ථක වුණේ නැහැ. ඒක විශාල පිරිවැයක් යන නිර්මාණයක්. දරන්න පුළුවන් අර්ථපතියන් ඉතා අඩුයි.



කොයිතරම් පිරිවැයක්ද?



රුපියල් කෝටි 10ක් විතර. එහෙත් දැන් ඒ සඳහා නව අර්ථපතිත්වයක් ඇති වී තිබෙනවා. වැඩ පටන්ගන්න පුළුවන් වෙයි.



දැන් ඔබේ අලුත්ම සිනමා කෘතිය ගැන කියන්න. මොකක්ද ඔබගේ ප්‍රකාශනය?




මම කරපු අනික් චිත්‍රපට දෙස බැලූ විටත්, දැන් මෙම චිත්‍රපටය නැරඹූ ප්‍රේක්ෂක හිතවතුන් කියපු දේවල් අනුවත්, ඇතැම් විද්වතුන් දැනට ප්‍රකාශ කරල තියෙන ආකාරයටත් එක පැත්තකින් මෙය මවිසින් නිර්මාණය කළ ගැඹුරුම චිත්‍රපටය. අනෙක් පැත්තෙන් මා විසින් කරනු ලැබූ සරලම චිත්‍රපටයයි.



ඒ ගැන ඔබේ අදහස?



මට කියන්නට තිබෙන්නේ මා එයින් ඉදිරිපත් කළ දේ ගැනයි. මා මේ චිත්‍රපටය සඳහා ප්‍රස්තූත කරගත්තේ ආදරයයි. ආදරය තරම් අපේ සමාජයේ කතා කරන තවත් මාතාකාවක් නැති තරම්. අපි රේඩියෝ එක, ටී.වී. එක දැම්මත්, පාරට බැස්සත්, බස් එකට නැග්ගත් ඇහෙන්නෙ ආදර ගීත තමයි. ටෙලි නාට්‍යයක්, චිත්‍රපටයක් බැලුවත් ජන සමාජය තුළත් අපට පෙනෙන්නේ ආදර ජවනිකා තමයි.

නමුත් මේ සියලු දසුන් මධ්‍යයේ අප විසින් අමතක කළ එක් විශේෂ කරුණක් තිබෙනවා.



මොකක්ද ඒ කාරණය?

ඒ තමයි අද අපි හැමෝම ජීවත්වෙන්නෙ ආදරය අහිමිවුණ සමාජයක කියන එක.



ඔබ කොයි විදියටද මේ භයානක කාරණාව දකින්නේ?



ආදරය එක පැත්තකින් වෙළෙඳ ලකුණක් විදියට මාකට් වෙන අතරම යථාර්ථවාදී ලෙස සමාජය ඇතුළේ එකිනෙකාට විශාල වශයෙන් ආදරය අහිමිවීමක් තිබෙනවා.

ආදරය ඉල්ලා නොලැබුණු විට ඊට ප්‍රතිචාරයක් ලෙස පෙම්වතුන් පෙම්වතියක් මරන බව අසන්නට ලැබෙන්නේත්, සැමියා බිරිඳ මරා දමන බව මෙන්ම බිරිඳ සැමියාව මරන බව පෙනෙන්නට තිබෙන්නේත්. ඉතා විශාල ලෙස දරු පැටවුන් අපචාරයන්ට ලක්වන්නේත් සමාජය තුළ ඇත්තටම මේ කියන ආදරය නැති නිසා. ඒ අනුව කියන්නට තිබෙන්නේ අප මුලින් කී අපූරු ආදරය ප්‍රදර්ශනාත්මක තලයක තිබුණට යථාර්ථය තුළ එනම් අපේ ජීවිත තුළ නැති බවයි.

අද අපට ඇහෙන සුලභ වදන් තුළ ආදරය නිර්වචනය වෙන්නෙ තවත් කෑමක් බිමක් බඩුවක් මුට්ටුවක් ගැන කතා කරන ගාණට. අද අපේ ආදරවන්තයන් අනුභව කරන්නෙ එයයි. ඒ නිසා ආදරය යනු ඇත්තටම කුමක්ද යන්න මේ ආදරය කරන බොහෝ දෙනෙකු දන්නෙ නැහැ.

ඉතින් මෙන්න මේ සමාජයට ආදර සංස්කෘතිය ගැනත් ආදරය යනු කොතරම් සියුම් උත්තරීතර දෙයක්ද යන්න ගැනත් යම් කිසි අදහසක් ප්‍රකාශ කිරීම තමයි මං හිත්නනෙ මා අතින් සිද්ධ වුණේ.



මේ සඳහා තෝරාගත් කාල වකවානුව ඔබ විසින් හඳුන්වන්නේ අපූරු ක්‍රමයකට. එනම් ඉර්ඉ යුගයට පෙර යනුවෙන්,?



ඔව් එකක් තමයි මගේ ප්‍රස්තූතයට අපේ සමාජය තුළ නිශ්චිත කාලයක් තිබිම. මොකද මෙය අහසේ පැළ කරපු එකක් නොවිය යුතුයි. ඒ නිසා මෙම චිත්‍රපටයට පසුබිම් වන්නේ 89ට පසු 90 දශකයේ මුල් භාගයේ පරිසරයක්. එය එස්.එම්.එස් යුගයට පෙර කියා මා විසින් හඳුන්වනු ලැබුවේ මෙයට මුල්වන්නේ පෙම් හසුනක් නිසා. මොකද එස්.එම්.එස්. යුගයත් සමග පෙම් හසුන් අභාවයට ගිය නිසා.



මෙතැනදී ඔබ පෙම් හසුනක් වටාම ඔබගේ කෘතිය ගොඩනගන්නට උත්සාහ කළේ ඇයි?



පෙම් හසුන ප්‍රේමය නමැති විෂය අරභයා මොනතරම් කාර්යභාරයක් කළාද යන්න ජීවිතයේ දශක කීපයක් ගෙවා ඇති ඔබත්, ඉතා හොඳින් දන්නා කාරණයක්.

මේ සංස්කෘතිය ගැන අප සියුම්ව විමසා බැලිය යුතුයි.

පෙම් හසුනක් ලියන්ඩ බැහැ ලියන්න බැරි කෙනෙකුට. ඒ නිසා පෙම් ලිපි ලියන්නා කියවල තියෙන්න ඕනෑ. ඒ නිසා ලියන්න බැරි කෙනා ලියන්ඩ දන්න කෙනෙකුට කියල පෙම් හසුන ලියව ගන්නවා. මොකද එයා දන්නවා එහෙම නොවුණොත් පෙම් ලිපියෙන් බලා‍පොරොත්තු වන කාර්යභාරය ඉටු නොවන බව.

ඒ එක පැත්තක්.

අනෙක් කාරණය තමයි ‍ලේඛනයේදී හැමවිටම අපේ ව්‍යවහාර භාෂාවට වඩා එහා ගිය ශක්තියක් තියෙනවා. ඒ වගේම එම ‍ලේඛකයාට ගෞරවණීය වටිනාකමක් තිබෙනවා. ඒ ‍ලේඛනයේදී අපි උසස් මට්ටමකට යනවා. පෙම් ලිපිය ලියවෙන්නෙ ඒ වගෙ උසස් මට්ටමකින්.

ඒ තත්ත්වය ඇතිවීමට තවත් හේතුවක් වූවේ මේ කියන කාලයේ ප්‍රේමය අරභයා මූලික තැනක් ලැබුණේ ආධ්‍යාත්මික වටිනාකම්වලට වීමයි. ඒ කියන්නේ භාවාත්මක කරුණුවලට. ඒ භාවාත්මක හැඟීම් ප්‍රකාශ කරන්න හොඳම මාධ්‍යය වුණේ පෙම් හසුන.

ඒ නිසා පෙම් හසුනක් ලියන තැනැත්තා ඒ සඳහා සාහිත්‍යය පමණක් නොවෙයි දේශපාලනයද ඇසුරු කරගත්තා. ඉතිහාසයත් ඇසුරු කළා. ඒ කාරණා ගැනත් පෙම් හසුන් තුළින් සාකච්ඡා කෙරුණා. ඒ නිසා පෙම් හසුන ආධ්‍යාත්මික කරුණු ගැන පමණක් නොව පැවතුණු දේශපාලන ආර්ථික සමාජීය සහ සංස්කෘතික ලියවිල්ලක්ද වුණා.

උදාහරණයක් වශයෙන් මගේ බිරිඳ මගේ පෙම්වතියව සිටි යුගයේ මවිසින් ඇයට ලියන ලද සියලුම ලිපි සුරක්ෂිතව තබා ගෙන සිටිනවා පමණක් නොව, ඒවා අපේ වැඩිවියට පත් දරුවන්ටද කියවන්නට ඉඩදී තිබෙනවා.

ඉතින් මේ ආකාරයට ප්‍රේමය ගොඩනගන්නට වර්ධනය කරන්නට භාජනය වුණු පෙම් හසුනම තමා ප්‍රේමය අවසන් කෙරුණු අවස්ථාවල එහි නිල ‍ලේඛනය බවට පත්වුණේත්. ඒ අවසන් පෙම් ලිපියකින් පවා කිසිම විටක අනෙකාට ශාප කළේ නෑ. හැමවිටම ප්‍රාර්ථනා කරනු ලැබුවේ ‘අනේ ඔබට යහපතක්ම වේවා යන්නයි“ එසේ නොමැතිව ප්‍රේමය අරභයා පිහියා කැතිවලින් කොටා හෝ වෙඩි තබා මරන ක්‍රමවේදයක් පෙම් ලිපි සංස්කෘතිය තුළ තිබුණේ නැහැ. කවුරුත් සාකච්ඡා නොකළාට මේක සමාජ මනෝ විද්‍යාත්මක ප්‍රශ්නයක්. නමුත් කව්රුත් මේ ගැන පර්යේෂණයක් කළේ නැහැ. නමුත් පෙම් ලිපි අහිමිවීම ⋆ සමාජයට ආදරය අහිමිවීම.



ඇයි ඔබ මේ අත්දැකීම් ඉදිරිපත් කරනු සඳහා මීදුම පිරුණු තෙතබරිත කඳුකරය පසුබිම ලෙස යොදා ගත්තේ?



මෙහි තිරනාටකය රචනා කරද්දී මගේ ඔළුවට ආපු පසුබිම් වර්ණය සහ භූමි භාගය එයයි. සංකල්පනා බිහිවෙන්නෙ භූමි භාගයකුත් සමගයි. මා තුළ ඒ භූමිභාගය පිළිබඳව ඇතිවුණු සිතිවිලිවල වියළි කලාපයටවත්, මූදු කරයවත් තිබුණේ නෑ.



ඒ වගේම ඔබ මෙම චිත්‍රපටයට සමනල සංවනිය කියා නමක් තැබුවෙ ඇයි?



“සමනලයා යනු හරිම මෘදු සුන්දර සතෙක්. ඇල්ලුවොත් ඌ විනාශ වෙනවා. සමනලයා බලා සතුටු වෙන්න මිස අල්ලල තියාගන්න ඉන්න සතෙක් නොවෙයි.

ආදරයත් ඒ වගෙයි. හරිම සියුම් මනෝභාවයක්. ඔබ එය නොතකාම හිටියොත් කවදාවත් ඔබට එය ලැබෙන්නෙ නැහැ. ඒ වගේම ඔබ ඕනෑවට වඩා එයට ළංවුණොත් ඒත් ඔබට එය ලැබෙන්නෙ නැහැ.”

ඒ එක අදහසක්



මොකක්ද අනිත් අදහස?



සමනලයා තටු ගසන ශබ්දය අපට ඇහෙන්නෙ නැහැ. ඒත් ඒ තටු ගසන හඬ අසන්නට අපේ ශ්‍රවණ ඉන්ද්‍රියයන් සංවේදී කරගත හැකි නම්, එනම් මහගමසේකර කියූ පරිදි සප්ත ස්වරයෙන් ඔබ්බට තවත් නාද ඇසෙන ලෙසට අපට පත්විය හැකි නම් එසේ හිත සංවේදී කරගත් අයෙකුට, මේ ආදරය තේරුම් ගන්නට පුළුවන්. එවැන්නෙකුට මේ සමාජයේ බොහෝ දේ කෙරෙහි සංවේදී වන්නට පුළුවන්. ඉතින් කොපමණ හොඳද ආදරය නිසා එවැනි සංවේදි මිනිසෙකු සමාජයට එක්වන එක. ඒ තමයි මගේ සමනල සංවනිය චිත්‍රපටයේ අනෙක් යටිපෙළ අරුත.



ප්‍රධාන චරිතය ලෙස සංගීතකරුවෙකුගේ භූමිකාව උපයෝගී කරගත්තේත් මේ තේමාවේ සියුම්කම තීව්‍ර කිරීමටද?



ඇත්තෙන්ම ඔව් සංවේදී දේවල් සංකේතවත් කරනු පිණිස ආසන්න දේවල් දෙකයි තියෙන්නෙ.

ඉන් පළමුවැන්න කවිය. මම දකින කවිය යනු ලියන කවිය නමෛයි ලියවෙන කවිය. මොකද කවි ලියවෙනව මිසක් ලියන්න බැහැ.

අපි කවිය මනසින් විතරක් නොවෙයි උප මනසිනුත් කියවනවා. නිකම් කල්පනා කර බලන්න මේ කවිය ගැන.

සොබා දහම එහි රීතිය

සදා අඳුරෙ තිබුණා

බිහිවනු නිව්ටන් කී විට

ආලෝකය වැටුණා

කවිය හැරුණු කල තිබෙන ඊළඟ මාධ්‍යය සංගීතයයි. සිනමා කෘතියක් සඳහා උපයෝගී කරගත හැක්කේ මේ අතරින් සංගීතය නිසා මා එය යොදා ගත්තා.



ශිල්පීය වශයෙන් ඔබ මෙම කෘතිය උදෙසා යොදාගත් අනෙකුත් සුවිශේෂතා මොනවාද?



ඉන් ප්‍රධාන වුණේ මෙය සිනමාස්කෝප් ප්‍රමාණයෙන් නිර්මාණය කිරීම. තේමාවේ ඇති සියුම් කම විශාලනය කර පෙන්වීමේ වුවමනාවක් මා තුළ තිබුණා. නමුත් මීට කළින් මා නිර්මාණය කළ චිත්‍රපටවල තේමාවන් සඳහා පුළුල් තිරයේ අවශ්‍යතාවයක් මා තුළ ඇතිවුණේ නැහැ.

ඒ හැරුණු කල මේ සඳහා ඉහළම ශබ්ද තාක්ෂණයක්ද උපයෝගි කර ගත්තා.



පිටත පරිසරය තෙත බරිත ශීතල පසුබිමක් ලෙස දිස්වෙද්දී ඔබ අභ්‍යන්තර දර්ශන සඳහා ඇම්බර් වර්ණය වැඩි වශයෙන් භාවිත කර තිබුණා.?




එයත් වුවමනාවෙන්ම කළ දෙයක්. ඇම්බර් යනු, ආත්මීය හැඟීම් උද්දීපනය කෙරෙන වර්ණයක්. එය තේමාව ඉස්මතු කිරීමට බලපෑවා.



විවිධ ආකෘතීන් සහ තේමාවන් මත ගොඩ නැගුණත් ඔබේ සියලුම ටෙලි වෘතාන්තවලත්, චිත්‍රපටවලත් නොලැබුණු ප්‍රේමයක් පිළිබඳව සියුම් සංවේදනාවක් ඉතාමත් උදාර ලෙස ඉස්මතු වන අවස්ථා තිබෙනවා. මෙහිදිත් එය එසේමයි. හේතුව?




එය රුසියන් කෙටිකතාවක් වන රන්මිණි වළල්‍ලේ උදාර ප්‍රේමය සිහිපත් කරවන බව සුමිත්‍රා රාහුබද්ධත් මා සමග කියා තිබුණා. ප්‍රේමය යනු ප්‍රතිලාභයන්ගෙන් තොර උදාර සංකල්පයක්. ප්‍රේමය ගැන කතා කරන විට එවැනි අවස්ථා නිර්මාණ තුළ මතුවිය හැකියි.



ගොළු හදවතේ තිබුණු ඒ සුන්දර ආධ්‍යාත්මික ප්‍රේමය අද නැහැ. සමනල සංවනිය මේ සමාජයට ඔබ පිරිනමන්නේ කොයි විදියටද?



ආදරය සෙනෙහස අහිමි වුණු ඒ පරපුරට දෙන ආදරණීය තිළිණයක් ලෙස.



ඔබේ ප්‍රචාරක පාඨයකින් කියවෙන්නේ ආදරය යනු පිරිමියෙකුට ජීවිතයේ එක කොටසක් පමණක් නමුත් ගැහැනියකට එය මුළු මහත් ජීවිතය බවයි. නමුත් ඔබේ චිත්‍රපටය නැරඹූ පසු පෙනී යන්නේ ආදරය ගැහැනියට පමණක් නොව පිරිමියාටද මුළු ජීවිතයම බවයි. ඒ ගැන ඔබේ අදහස



ආදරය ගැන කියූ මගේ කෘතියෙන් ඔබට දැනෙන්නේ එහෙම නම්, ඔබට එසේ පිළිගන්න අයිතියක් තිබෙනවා.



තිස්ස ප්‍රේමසිරි

Post a Comment