සැමියාගේ චිත්‍රපටවලට මට කතා කළේ නැහැ - Gayathri Dias

ගයත්‍රි ඔබ මොන වගේ වැඩත් එක්ක ද මේ දවස්වල කාලය ගත කරන්නෙ?

මේ දවස්වල මම ප්‍රධාන වශයෙන්ම මගෙ කාලය වෙන් කරල තියෙන්නෙ මගෙ සැලෝන් එකේ වැඩවලට. ඊට අමතරව ජාතික රූපවාහිනිය වෙනුවෙන් මොහාන් පී. රංගනාථ නිර්මාණය කරන අලුත්ම ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙලා ඉන්නවා. ඊට අමතරව දරුවන්ගේ වැඩවලටත් වැඩි කාලයක් යොදවනවා.

ඔබ කලක් කලා ක්ෂේත්‍රයෙන් දුරස් වෙලා සිටියා නේද?

ඔව් අවුරුදු ගණනාවක්ම මම රඟපෑමෙන් ඉවත්වෙලා සිටියා. ඒ; මගේ දරුවන් දෙදෙනාගේ වැඩ කටයුතුවලට මගේ සම්පූර්ණ කාලය යොදවන්න තිබුණු නිසා.

ඇයි ඔබට නැවත කලාවට එන්න හිතුණේ?

කලාව කියන්නේ ඉතාම ගෞරවාන්විත දෙයක්. මම හරි ආශාවෙන් තමයි කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ. දරුවන්ගේ වැඩ නිසා කලාවෙන් ඉවත් වුණත් දරුවන් ලොකු මහත් වුණාම කලා ක්ෂේත්‍රයෙන් ලැබුණු ආරාධනා නිසා නැවත මට කලා ක්ෂේත්‍රයට එන්න ආශාවක් ඇතිවුණා. ඒ නිසයි මම නැවත කලා කටයුතු වලට සම්බන්ධ වුණේ.


මෑතදී ඔබ රඟපෑ 'යර්ස් මැඩම්' ටෙලි නාට්‍ය මාලාව බොහෝ ප්‍රේක්ෂක පිරිසක් නැරඹුවා නේද?

ඇත්තෙන්ම ඔව්; ලැබුණු ප්‍රතිචාරවලින් ඒ බව පැහැදිලි වුණා. විශේෂයෙන්ම එය හාස්‍යෝත්පාදක ටෙලි නාට්‍යයක් වීමත්, විජය නන්දසිරි, මානෙල් වානගුරු, කුසුම් රේණු වැනි ක්ෂේත්‍රයේ ප්‍රවීණ කලාකරුවන් පිරිසක් මෙම ටෙලි නාට්‍යයේ රඟපෑමත් 'යර්ස් මැඩම්' ටෙලි නාට්‍යයේ ජනප්‍රියත්වයට හේතු වුණා කියන්න පුළුවනි.

පසුගිය කාලයේ ඔබ දායක වුණු නිර්මාණ මොනවා ද?

සරත් ධර්මසිරිගේ 'මිරිඟුදිය', ශර්ලි පී. දෙලංකාවලගේ 'සත්කුළු පව්ව' සහ තවත් ටෙලි නාට්‍ය කීපයකටම දායක වුණා.

සිනමාවට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණේ නැත්ද?

සිනමාවේ ලොකු දෙයක් කරන්න තවම මට අවස්ථාව ලැබිල නැහැ. උදයකාන්ත වර්ණසූරිය අයිය තමයි මට සිනමා නිර්මාණයක රඟපාන්න මුලින්ම ඇරයුම් කළේ. ඒ 'ආසයි මං පියාඹන්න' චිත්‍රපටයට. ඉන් පසුව මම චිත්‍රපට තුනක පමණ රඟපෑවා.

ඔබේ සැමියා (චන්න පෙරේරා) නිර්මාණය කළ චිත්‍රපටවලට ඔබට කතා කළේ නැත්ද?

නැහැ කතා කළේ නැහැ. ඒ; මට ගැළපෙන චරිතයක් ඒ චිත්‍රපටවල නොතිබුණු නිසා වෙන්න ඇති.

කොහොම ද ඔබේ රූපලාවණ්‍යාගාරයේ කටයුතු?

ඔව්, ඉතාම හොඳින් ඒ වැඩ කෙරෙනවා. මගේ රූපලාවණ්‍යගාරය අලුත් තැනකට ගෙනියන්න මම මේ දවස්වල සූදානම් වෙනවා. අවුරුදු 10 ක් විතර මම හිටියේ නුගේගොඩ පාගොඩ පාරේ ස්ථානයක. අලුතින් යන්න බලාපොරොත්තු වෙන්නෙත් ඒ ළඟ පාතටමයි. ළඟදීම මම අලුත් තැනට යනවා.

රූපලාවණ්‍ය‍ය ශිල්පය කියන විෂය ඔබ කොතෙක් දුරට හදාරල තියෙනව ද?

රූපලාවණ්‍ය‍ය ශිල්පය මම ඉගෙන ගත්තේ ලෝකය පිළිගත් ජාත්‍යන්තර මට්ටමේ ආයතනවලින්. රූපලාවණ්‍ය‍ය ශිල්පය කියන විෂය ඇතුළේ තවත් විෂයන් ගණනාවක්ම තියෙනවා. එම විෂයන් හදාරල ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ රැසක්ම මම ලබාගෙන තියෙනවා. ජාත්‍යන්තර මට්ටමේ ප්‍රදර්ශනවලටත් මම සහභාගි වෙලා තියෙනවා. ඒ අත්දැකීම් එක්කයි මම වැඩ කරන්නේ.

රූපලාවණ්‍යාගාරයේ වැඩ කටයුතු සහ කලා කටයුතු ඔබ සමබරව කරගෙන යන්නේ කොහොම ද?

මගේ දවසෙන් වැඩි කාලයක් මම යොදවන්නේ රූපලාවණ්‍යාගාරයේ වැඩවලට. මාසෙන් දින 10 ක් විතර රංගන කටයුතුවලට යොදවනවා. මේ වැඩවලට අමතරව ස්වර්ණවාහිනී නාළිකාවේ ඉරිදා දිනවල 'චමත්කාර' ඉරිදා වැඩසටහන මෙහෙයවනවා. කොහොමහරි කාලය සොයාගෙන මේ හැම වැඩක්ම සාර්ථකව කරගන්න උත්සාහ ගන්නවා.

'චමත්කාර ඉරිදා' ඔබට හොඳ අත්දැකීමක් ද?

ඔව්. විශාල අත්දැකීම් ප්‍රමාණයක් මට එයින් ලැබෙනවා. හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරත් මට ලැබෙනවා. මෙම වැඩසටහනෙන් මම කැඳවාගෙන එන්නේ ලංකාවේ ප්‍රවීණතම කලාකරුවන්. ඔවුන් බොහෝ දෙනෙක් මම ඉතාම ළඟින් ඇසුරු කළ අය. මෙම වැඩසටහනට සහභාගිවෙන බොහෝ ශිල්පීන්ගේ තොරතුරු සොයන්න මට ගොඩක් මහන්සි වෙන්න ඕන වෙන්නෙ නෑ. ඒ මම ඔවුන් ගැන හොඳින් දන්න නිසා. මම මේ වැඩසටහනේදී ආරාධිතයා සමඟ කතා කරන්නේ නි‍ෙවසට ආව අමුත්තෙක් එක්ක කතා කරනව වගේ. ඉතාම ආශාවෙනුයි මම ඒ වැඩසටහන ඉදිරිපත් කරන්නේ.

ඔබ මීට පෙර රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කර තිබෙනවා ද?

මීට අවුරුදු ගණනකට පෙර ජාතික රූපවාහිනිය වෙනුවෙන් රවින්ද්‍ර මුණසිංහ නිර්මාණය කළ "අභිනික්මන" වැඩසටහන ඉදිරිපත් කළා. ඉන් පසුව මම ස්වර්ණවාහිනියේ 'රසසරණිය' වැඩසටහන ඉදිරිපත් කළා.

රංගන ක්ෂේත්‍රයේ ඔබට තවම දැනෙන යමක් කරන්න අවස්ථාව ලැබුණේ නෑ කීවොත්?

ඔව් ඒක ඇත්ත. මම රංගන ක්ෂේත්‍රයට ඇවිත් කලක් ගත වුණත් නිර්මාණ ගණනාවකටම දායක වුණත්, තවම හොඳ රංගනයක් ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබිල නැහැ කිව්වොත් හරි. කේ. විජේරත්නගේ 'නයනමිනි' ටෙලි නාට්‍යයේ මම හොඳ රංගනයක් කළා. ඊට පසුව මකර විජිතය, හෝඩුවාව වැනි ටෙලි නාට්‍යවලට හොඳ රංගනයක් කිරීමේ අවස්ථාව මට ලැබුණා. මම හිතන විදියට මට හොඳ චරිතයක් කරන්න අවස්ථාව නොලැබුණේ මගේ හොඳම කාලයේදී මම රංගනයෙන් ඉවත් වෙලා සිටි නිසයි. එහෙම රංගනයෙන් ඉවත් වුණේ මගේ දරුවන්ගේ වැඩ කටයුතුවලට වැඩි කාලයක් යොමු කරන්න සිදුවුණු නිසයි කියල හිතෙන විට මට දුකක් දැනෙන්නේ නෑ.

නමුත් ඉදිරියේදී හොඳ කලාත්මක සිනමා නිර්මාණයක රඟපාන්න ඔබට අවස්ථාව ලැබුණොත් ඔබ එය බාර ගන්නව ද?

ඔව් ඇත්තෙන්ම මම බාර ගන්නවා. හැබැයි මම බොහෝ සීමාවන් තුළ ඉඳගෙන තමයි රංගනයේ යෙදෙන්නේ. ඒ සීමාවන් ඇතුළේ මගේ හැකි උපරීමය මම කරනවා.

ඔබේ දරුවන් දැන් තරමක් ලොකුයි නේද?

ඔව් ලොකු දුවට අවුරුදු 15 යි. එයා මියුසියස් විද්‍යාලයේ ඉගෙන ගන්නේ. දෙවැනි දුවට තවම අවුරුදු 8 යි. එයා රෝයල් ඉන්ස්ටිටියුට් එකේ ඉගෙන ගන්නවා. දරුවන්ගේ වැඩ කටයුතු බොහෝ වේලාවට කෙරෙන්නේ මගේ අතින්. නමුත් මගේ කාර්යබහුලත්වය නිසා දරුවන්ගේ වැඩ කටයුතු මඟ හැරෙන වෙලාවලුත් තියෙනවා.

චන්නගෙන් ඔබේ වැඩ කටයුතුවලට ලැබෙන්නේ මොන වගේ උදව්වක් ද?

හරියට බැලුවොත් අපි දෙන්නා ඉන්නේ ක්ෂේත්‍රයන් දෙකක. අපි දෙන්නම කාර්ය බහුලයි. ඒ නිසා අපි දෙන්නට උදව් කරගන්න අපිට අවස්ථාව ලැබෙන්නේ නෑ. අපි දෙන්නටම ලැබෙන ලොකුම උදව්ව තමයි, අපි දෙන්නගෙන් අපි දෙන්නට ලැබෙන නිදහස.

ගාමිණී සුසන්ත
http://ift.tt/1bx4mbb

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment